ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සුබ ආරංචියක්

219

ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ජාත්‍යන්තර තරගවල දී ඉන්දීය ජාතික පිරිමි කණ්ඩායමට ලැබෙන ගෙවීම ම සිදු කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah මහතා පවසනවා. ඒ එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව ගෙවීම් සමානතා ප්‍රතිපත්තිවලට අනුකූලවයි.

මෙම නව ගෙවීම් ක්‍රමයට අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ටෙස්ට් තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක මුදලක් ද, එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 6ක මුදලක් ද සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් සඳහා ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිතයි.

මෙම මුදල දැනට කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන එක්දින සහ විස්සයි විස්ස තරගයක් සඳහා වන ඉන්දියානු රුපියල් ලක්ෂයක සහ ටෙස්ට් තරගයක් සඳහා හිමිවන ලක්ෂ 4ක මුදලට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගැනීම විශේෂත්වයක්.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණයට ප්‍රශංසා කරමින් Jay Shah මහතා පැවසුවේ මෙය වෙනස්කම් දුරලීම සඳහා වන පළමු පියවරක් බවයි.

කෙසේ වෙතත් දැනට වාර්ෂිකව කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවකට හිමි වන ඉහළම මුදල වන ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදල ද, B කාණ්ඩයේ ක්‍රීඩිකාවකට හිමි වන ලක්ෂ 30ක මුදල ද සහ C කාණ්ඩයේ ක්‍රීඩිකාවකට හිමි වන ලක්ෂ 10ක මුදලට ද කිසිදු වෙනසක් සිදු වී නැහැ.

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට (පිරිමි) මේ ආකාරයට වාර්ෂිකව ක්‍රීඩක වර්ගීකරණ 4ක් යටතේ ගෙවීම් සිදු කරන අතර A+ ශ්‍රේණියේ ක්‍රීඩකයෙකුට ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලක් ද A, B සහ C කාණ්ඩවල ක්‍රීඩකයන්ට පිළිවෙළින් ඉන්දීය රුපියල් කෝටි 5ක, 3ක සහ එක් කෝටියක මුදලක් හිමිවනවා.

මෙම වාර්ෂික ගෙවීම ද වෙනසකට බඳුන් කිරීම පිළිබඳව ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකා  Harmanpreet Kaud සහ අනෙකුත් ඉන්දීය ජ්‍යේෂ්ඨ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමඟ පසුගිය දිනෙක ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා කර ඇති බව ද වාර්තා වෙනවා.

මෙම කොන්ත්‍රාත් හා තරග ගාස්තුවලට අමතරව කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයට රූපවාහිනී අයිතීන් ලබා දීම සහ කණ්ඩායම් හිමිකරුවන් සමඟ ගිවිසුම්ගත වීම පිළිබඳව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් කර තිබෙනවා.

ඊට අමතරව ක්‍රීඩිකාවන් වෙන්දේසි කිරීමට හෝ කෙටුම්පත් කිරීමට ද අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්.

පසුගිය සමයේ දී විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්කම් දැක්වූ අතර ඔවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම ලබා ගැනීමට ද සමත් වුනා.

එංගලන්තය සමඟ පැවති එක්දින තරගාවලියේ දී 3-0ක ජයක් සහ ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකාව පරදා හත්වැනි වරට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට ද ඔවුන් සමත් වුනා.

දෙසැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස තරග පහකට සත්කාරකත්වය සැපයීමට ද ඉන්දියාව සූදානම්ව සිටිනවා.

ESPN Cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<