ගැටුමට විරාමයක්! සංචාරක කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින්ගේ එකඟතාව!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව

222

SLC ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් අතර අද දිනයේ පැවති දීර්ඝ සාකච්ඡා වාර කිහිපයකින් අනතුරුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ එකඟතාව පළකිරීමට කටයුතු කළ බව වාර්තා වී තිබේ.

එංගලන්ත තරග සංචාරයට පෙරාතුව වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම හා සම්බන්ධ ගැටලුව නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාව දැඩිව පැන නැඟී තිබූ නමුත් පැවති මතගැටුම් හමුවේ නිශ්චිත විසඳුමකට එළඹීමට නොහැකි වීම නිසාවෙන් දෙපාර්ශවයේම නියෝජිතයින් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති අයුරු පසුගිය දින කිහිපය පුරාවට දැකගන්නට ලැබුණි.

කෙසේ නමුත් ගෙවුණු දින කිහිපය පුරාවට ක්‍රීඩකයින් සහ බලධාරීන් අතර නිර්මාණය වෙමින් තිබූ විරසකය යම්තාක් දුරකට හෝ සමථයකට පත්වී ඇති බවක් පෙනී යන්නේ මින් පෙර ක්‍රීඩකයින් විසින් ප්‍රතික්ෂේප කළ සංචාරක කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින් මේ වන විට ඔවුන්ගේ එකඟතාව පළ කිරීමට කටයුතු කොට ඇති නිසාවෙනි. 

වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පෙර පැවති තම ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති බව මෙහි දී ක්‍රීඩකයින්ගේ පාර්ශවයෙන් දැනුම් දීමක් සිදුකොට තිබුණේ එංගලන්ත තරග සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කොට ස්ථිරසාර විසඳුමකට එළඹීමට අපේක්ෂා කරන බව අවධාරණය කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

ක්‍රීඩකයින්ගේ කාර්‍ය සාධනය සහ ශාරීරික යෝග්‍යතාව වැනි ක්‍රීඩාවට අදාළ කරුණු පමණක් සැලකිල්ලට භාජනය කළ  යුතු ක්‍රීඩක කොන්ත්‍රාත්තු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය සඳහා වෙනත් බාහිර, යථාර්ථවාදී නොවන සාධක ද හඳුන්වා දීම වාර්ෂික ගිවිසුම සඳහා අත්සන් නොතැබීමට බලපෑ ප්‍රධානතම කාරණය බව ක්‍රීඩකයින් විසින් දිගින් දිගටම අවධාරණය කොට තිබුණි.

එංගලන්ත තරග සංචාරය සඳහා මෙම මතභේදාත්මක තත්වය අයහපත් අයුරින් බලපෑ හැකි බැවින් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා SLC නිලධාරීන් සහ ක්‍රීඩකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද කොළඹ Taj Samudra හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විය. 

එහි දී ක්‍රීඩකයින් විසින් සංචාරක කොන්ත්‍රාත්තු ගිවිසුම සඳහා යහපත් ප්‍රතිචාරයන් දක්වා සිටි බව Newswire වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළාධාරියෙකු ප්‍රකාශයක් ලබා දුන් බව සඳහන්ව තිබේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පාර්ශවය නියෝජනය කරමින් මෙම ගැටලුවෙහි නීතිමය අංශය භාරව කටයුතු කරන නීති උපදේශක නිශාන් සිඩ්නි ප්‍රේමචන්ද්‍ර මහතා ද එම ප්‍රකාශයේ සත්‍යතාව සනාථ කරමින් සඳහන් කර සිටියේ කොන්ත්‍රාත්තු ගිවිසුම් ප්‍රකාශයේ විනිවිදභාවය සම්බන්ධයෙන් ඇති කර ගත් යම් එකඟතාවන් පදනම් කරගනිමින් එංගලන්ත සංචාරය සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුමට තම සේවාදායකයින්ගේ අනුමැතිය ලබා දීමට කටයුතු කොට සිටි බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<