මංගල තරගයේ දී වැඩ පෙන්වූ එංගලන්ත ක්‍රීඩකයාට තහනමක්

158

නවසීලන්තයට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Ollie Robinsonට ජාත්‍යන්තර තරග අත්හිටු වීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

2012-2013 වසරවල දී ඔහු විසින් පල කර තිබූ ආන්දෝලනාත්මක Twitter පණිවිඩ සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු මෙම අත්හිටුවීම සිදු කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසා සිටිනවා.

ඒ අනුව ලෝඩ්ස් පිටියේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 3ක් දවා ගත් Ollie Robinson නවසීලන්තයට එරෙහිව මේ මස 10 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.

තවත් පුවත්:

එමෙන්ම ඔහු එංගලන්ත සංචිතයෙන් ද වහාම ඉවත් කරන බවත්, ඔහුගේ ප්‍රාන්ත කණ්ඩායම වන සසෙක්ස් කණ්ඩායම හා ඔහු එක් වීමට නියමිතව ඇති බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටිනවා. .

2012 – 2013 වසරවල දී 18 – 19 හැවිරිදි වියේ පසු වූ Ollie Robinson විසින් ජාතිවාදී සහ කාමුක අදහස් ඇතුළත් Twitter පණිවිඩ කිහිපයක් සිය නිල Twitter ගිණුමේ පල කර තිබූ අතර, පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු වසර 8කට පෙර තමා අතින් සිදු වූ මෙම වරදට සමාව ද ඉල්ලා සිටියා.

ඒ, තරගයේ පළමු දිනය ක්‍රියාත්මක වන අතරවාරයේ දී අදාළ Twitter පණිවිඩ යළි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම හේතුවෙන්.

“අද ප්‍රසිද්ධ වෙලා තියෙන, මීට වසර අටකට පෙර තමා විසින් පල කරන ලද ජාතිවාදී සහ කාමුක Twitter පණිවිඩ ගැන මගේ ක්‍රීඩා දිවියේ වැදගත්ම දිනයේ දී මම ලැජ්ජාවට පත් වෙනවා” යනුවෙන් ඔලී රොබින්සන් තරගය අතරතුර පැවති මාධ්‍ය හමුවක දී පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<