ලෝක වාර්තාවක් කරා ගිය ප්‍රභාත්ගේ කඩුලු සැනකෙළිය

184

ලොව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු අර්ධ ශතකයක් ලබා ගත් දඟපන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු අසුන ප්‍රභාත් ජයසූරිය විසින් පසුගිය දා වෙන් කර ගත්තා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අයර්ලන්තය හා සමඟ පැවති  දෙවැනි තරගයේ දී පෑ දක්ෂතාවත් සමඟින්.

ප්‍රභාත් ජයසූරියගේ කඩුලු දඩයම
Team Mat Inns Overs Mdns Runs Wkts BBI BBM
1 ඕස්ට්‍රේලියාව 1 2 52.0 5 177 12 6/59 12/177
2 අයර්ලන්තය 2 4 137.4 38 370 17 7/52 10/108
3 නවසීලන්තය 2 3 50.0 3 224 4 2/92 2/92
4 පාකිස්තානය 2 4 164.2 35 414 17 5/82 9/217
7 13 404.0 81 1185 50 7/52 12/177

වමතින් දඟපන්දු යවන 31 හැවිරිදි ප්‍රභාත් මේ කඩඉමට පිවිසියේ සිය 7 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින්. මෙම වාර්තාවේ මීට පෙර හිමිකරු වූයේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Alf Valentine. වමතින් දඟපන්දු යැවූ ඔහු මේ වෙනුවෙන් ටෙස්ට් තරග 8ක් වැය කර තිබූ අතර එම දක්ෂතාව මීට වසර 71කට පෙර වාර්තා වී තිබුණා.

2004 වසරේ දී වයස අවුරුදු 74ක් ව සිටිය දී මිය Alf Valentine ටෙස්ට් වරම් හිමි කර ගන්නේ එංගලන්තයට එරෙහිව 1950 වසරේ ජුනි මාසයේ දී. 1962 වසරේ අප්‍රේල් මාසයේ දී ටෙස්ට් තරග දිවියෙන් සමුගන්නා විට ඔහු ටෙස්ට් තරග 36කට ක්‍රීඩා කරමින් කඩුලු 139ක් ලබා සිටියා.

මේ අතර කාලයේ ඔහු තමන් ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙසින් අවතීර්ණ වී වසරකුත් දින 206ක් ගත වූ දිනයේ දී ලොව වේගවත්ම කඩුලු 50ක් දවා ගැනීමේ වාර්තාව සතු කර ගත්තා. නමුත් ප්‍රභාත් ජයසූරියට එම වාර්තාව සතු කර ගත්තේ ටෙස්ට් තරග පිටියට අවතීර්ණ වී දින 290ක් වැනි කෙටි කාලයකින්.

ප්‍රභාත් ජයසූරියගේ කඩුලු දවා ගැනීම් අතර ඉනිමක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 6ක් වාර්තා වෙනවා. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව අවස්ථා දෙකක දී, පාකිස්තානයට එරෙහිව අවස්ථා 2ක් සහ අයර්ලන්තයට එරෙහිව අවස්ථා 2ක් ලෙසයි.

ඊට අමතර ව තරගයක දී කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් අවස්ථා 2ක් ද ඊට ඇතුලත් වෙනවා. ඒ ඕස්ට්‍රේලියාවට සහ අයර්ලන්තයට එරෙහිවයි.

ප්‍රභාත් ජයසූරියගේ කඩුලු 50 බෙදී ගිය ආකාරයෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගන්නේ උඩපන්දු මගින්. ඒ අනුව ඔහුගේ ගිණුමේ පවතින උඩපන්දු ප්‍රමාණය කඩුල්ල පිටුපස සිට දවා ගත් උඩපන්දු 4ක් ද සමඟින් 24ක්.

එහි දී වැඩිම දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයා වන්නේ ධනංජය ද සිල්වා. ඔහු උඩපන්දු 5ක් දවා ගන්නවා. ඊට අමතර රමේෂ් මෙන්ඩිස් උඩපන්දු 4ක් සහ කුසල් මෙන්ඩිස් උඩපන්දු 3ක් ලෙසින් ලබා ගනිමින් ඔහුට කඩුලු දවා ගැනීමට දායකත්වය දක්වනවා.

කඩුල්ල පිටුපස සිටිමින් කඩුලු බිඳ දැමීම් ද ඇතුලුව දවා ගැනිම් 4කට දායක වීමට නිරෝෂන් දික්වැල්ලට හැකි වෙනවා.

ඊට අමතර ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමේ අවස්ථා 14ක්, පන්දුව කෙලින් ම කඩුල්ල වෙත එවමින් දවා ගැනීම් 9ක් සහ කඩුලු රකින්නා විසින් කඩුල්ල බිඳ දැමීම් 3ක් ද ඊට ඇතුලත්.

ප්‍රභාත් ජයසූරියගේ දවා ගැනීම් අතරින් වැඩිම වාරයක් දැවී ගිය ක්‍රීඩකයා වන්නේ පාකිස්තානයේ 29 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Agha Salman. ශ්‍රී ලංකාවට එරෙහිව 2022 වසරේ දී ටෙස්ට් වරම් හිමි කර ගන්නා ඔහු තම මංගල ඉනිම් හතර ම වැය කරන්නේ ප්‍රභාත් ජයසූරියට ගොදුරු වෙමින්. ප්‍රභාත් ජයසූරිය මෙන් ම Agha Salman  ද මෙතෙක් මෙතෙක් එකිනෙකා හමු වී ඇත්තේ එම ඉනිම් 4 දී පමණයි.

ඉන් අනතුරුව ප්‍රභාත් ජයසූරිය ඉදිරියේ වැඩිම වාර ගණනක් දැවී ගිය ක්‍රීඩකයා බවට පත් වන්නේ අයර්ලන්තයේ James McCollum. ඔහු තෙවරක් ප්‍රභාත් ජයසූරියට කඩුලු පුද කරනවා.

ඊට අමතර ව  ඕස්ට්‍රේලියාවේ Marnus Labuschagne, Cameron Green, Mitchell Starc, පාකිස්තානයේ Azhar Ali,  Babar Azam, අයර්ලන්තයේ Harry Tector, Curtis Campher, peter Moor සහ Lorcan Tucker අවස්ථා 2 බැගින් ප්‍රභාත් ජයසූරියට ගොදුරු වෙනවා.

2022 වසරේ ජූලි මාසයේ දී මෙරට සංචාරයක යෙදුණ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තම මංගල ටෙස්ට් තරගයට පිවිසි ප්‍රභාත් ජයසූරිය එම තරගය අවසන් කරන්නේ තරගයේ වීරයා සම්මානය ද ලබා ගනිමින්.

එම තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 118කට කඩුලු 6ක් දවා ගන්නා ප්‍රභාත් දෙවැනි ඉනිමේ දී ද ලකුණු‍ 59කට කඩුලු 6ක් දවා ගන්නවා.

ඒ අනුව ඔහු එම තරගයේ දී දෙවැනි ඉනිමේ දී පෑ දක්ෂතාව තමන්ගේ හොඳම පන්දු යැවීමට ලෙසින් අයර්ලන්තය සමඟ වූ පළමු තරගය දක්වා ම රැගෙන ආවා. නමුත් ඔහු අයර්ලන්තය හා සමඟ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රතිවාදී පළමු ඉනිමේ දී ලකුණු 52කට කඩුලු 7ක් දවා ගනිමින් එම වාර්තාව අලුත් කළා. එම දක්ෂතාව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු යවන්නෙක් ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතා අතර තෙවැනි තැන ගත්තා.

එහි පළමු අසුන මුත්තයියා මුරලිදරන් සතු කර ගන්නේ එංගලන්තයට එරෙහිව 2003 වසරේ දී ලකුණු 46කට කඩුලු 7ක් දවා ගනිමින්. දෙවැනි ස්ථානය රංගන හේරත් සතුයි. ඔහු ඊට එකතු වන්නේ ඉන්දියාවට එරෙහිව 2015 වසරේ දී ලකුණු 48කට කඩුලු 7ක් දවා ගනිමින්.

ප්‍රභාත් ජයසූරිය විසින් දවා ගත් කඩුලු 50න් 46ක් ම වාර්තා වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගත් ඒවා ලෙසයි. ඔහු ඒ වෙනුවෙන් තරග 5ක ඉනිම් 10කට සහභාගී වී තිබෙනවා. ඔහුගේ ඉතිරි කඩුලු 4 නවසීලන්තයේ දී පැවති  තරග 2ක ඉනිම් 3ක දී ලබා ගත් ඒවායි.

මේ වෙද්දී ප්‍රභාත් ජයසූරියගේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තම මංගල තරගයේ දී ලකුණු 177කට දවා ගත් කඩුලු 12 යි.

දඟපන්දු යවන්නන් අතරින් ලොව වේගවත් ම පන්දු යවන්නන් අතරින් ප්‍රමුඛයා වූ ප්‍රභාත් ජයසූරිය, ලොව ඕනෑම පන්දු යවන්නෙක්ගේ දක්ෂතා අතර සිව්වැනි ස්ථානයට පත්වුනා. එහි පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවේ දකුණතින් මද වේගපන්දු යැවූ Charlie Turner සතු වෙනවා. ඔහු මෙම වාර්තාවට හිමිකම් කියමින් මේ ගත වෙන්නේ 135 වැනි වසර වන අතර ඒ වෙනුවෙන් ඔහු පිටියට පිවිස තිබුණේ තරග 6ක ඉනිම් 10කට පමණයි.

එම වාර්තාවේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන එක ම දක්ෂතාවට හිමි වෙනවා. ඒ අතර අසුනක් ප්‍රභාත්ට ද හිමියි. කෙසේ වෙතත් පෑ දක්ෂතා අනුව එහි දෙවැනි ස්ථානය එංගලන්තයේ දකුණතින් මද වේගපන්දු යැවූ Thomas Richardson ද, තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ දකුණතින් මද වේගපන්දු යැවූ Vernon Philander ද සතු වෙනවා.

ලොව සුපිරි පන්දු යවන්නන් අතරට එක් වූ ප්‍රභාත් ජයසූරියට ThePapare.com හී සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<