වේගපන්දුවේ වාරියපොළ වීරයා

2256

නවසීලන්ත තරග සංචාරයේ යෙදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් ව සිටින නවතම වේගපන්දු යවන්නා වන්නේ මිලාන් රත්නායක.

මිලාන් කියන්නේ පාසල් කාලයේ සිට ම කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. ඒත් අවාසනාවට වගේ ඔහුගේ දක්ෂතා ඒ කාලයේ කාගෙත් දැස්වලට අහුවුනේ නැහැ. මොකද ඔහු පාසල් කාලයේ දී ක්‍රීඩා කළේ තෙවැනි පෙළ තරගාවලියේ.

මිලාන්ට වෙනත් පාසල් වෙත යන්න අවස්ථා කිහිපයක් ම ලැබුණා. එහෙත් ඔහු කිව්වේ වෙන තැනකට යන්නෙ නැහැ කියලා. අපිට ලොකුවට උදව් කරන්න පිරිසක් හිටියේ නැහැ. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය තමයි මිලාන්ලාගේ ක්‍රිකට් බලාගත්තේ. කිසිම දෙයක් නැතිව ක්‍රිකට් ගහපු මිලාන්ට අද මේ ලැබුණ අවස්ථාව ගැන අපි ගොඩක් සතුටු වෙනවා,” මිලාන් ගැන කතාබහේ දී ThePapare.com සමඟ පළමුවෙන් ම අදහස් දැක්වූයේ ඔහුගේ ප්‍රථම පුහුණුකරු සසංක ගස්පේ මහතා.

මිලාන් පාසල් ගියේ වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයට. එවකට ශ්‍රී සුමංගලේ බොහොම සීරු මාරුවට තමයි ක්‍රිකට් ක්‍රීඩාව පැවතිලා තියෙන්නේ. අදටත් ඒකේ ඒ තරම් ම වෙනසක් නැහැ. නමුත් කෙතරම් අඩු-පාඩු තිබුනත්, එවකට සේ ම අදටත් බොහෝ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ශ්‍රී සුමගංලය සතු බවයි ගස්පේ මහතා ප්‍රකාශ කරන්නේ.

මිලාන්ට අමතර ව ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගවල දී දක්ෂතා දක්වන ඩිලාන් ජයලත් ද ශ්‍රී සුමංගල විද්‍යාලය බිහි කළ දක්ෂ ක්‍රීඩකයෙක්. එදා මෙන් ම අද ශ්‍රී සුමංගල විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ සසංක ගස්පෙ මහතා.

මිලාන් මට හමුවෙන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙද්දි. තරමක උසකින් යුත් ඔහු හරි අපූරුවට ක්‍රීඩා කළා. ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතරින් මිලාන් තමයි වඩාත් කැපී පෙනුණේ. ඔහුට පාසල සමඟ එක් වෙමින් ක්‍රීඩා කරන්න කතා කළත්, එක පාරට ම ඔහු ඊට එකඟ වුනේ නැහැ.”

මේ කල්මැරිල්ල ගස්පෙ මහතාට තරමක විමතියක් වුනා. වෙනත් කෙනෙක්ට මෙවන් ආරාධනාවක් ලැබුණා නම් ඔහු ඊට පසුදා ම පාසල හා එක් වෙනවා. එහෙත් මිලාන් එසේ නොවීම ගැන ගස්පෙ මහතා සොයා බැලුවා.

මිලාන්ගෙ ගෙදර අය මම තරමක් දන්න හිතවත් අය බැව් කළ සොයා බැලීමේ දී දැන ගත්තා. මම ගෙදර වැඩිහිටියන්ගෙන් මිලාන් ක්‍රිකට් පුහුණුවීම් සඳහා එවන ලෙස ඉල්ලා සිටියා. ඒත් ඔවුන් ද මිලාන් සේ ම එක හෙළා ඊට එකඟ වුනේ නැහැ.”

ඊට ඔවුන්ට හේතුවක් තිබුණා. ඒ බැව් අප සමඟ පැවසුවේ මිලාන්ගේ මව, රීටා රත්නායක මහත්මිය.

පුතා අවස්ථා කිහිපයක දී ම ක්‍රිකට් ගහන්න යන්න ගෙදරින් අවසර ඉල්ලුවා. ඒත් අපි ඊට කැමති වුනේ නැහැ. මොකද ඒ වෙද්දී පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අපි හිතුවේ ක්‍රිකට්වලට ගියොත් පුතාගෙ අධ්‍යාපන කටයුතු විනාශ වෙලා යයි කියලා.”

එකී සිතුවිල්ල බිඳ දැමෙන්නේ ගස්පෙ මහතාගේ මැදිහත් වීමෙන්.

පුතාලගෙ තාත්තා රස්සාව කළේ යුද හමුදාවේ. දැන් නම් විශ්‍රාමිකයි. ඒ දවස්වල අපි අලුතෙන් ඉඩම් අරගෙන ගෙවල් හදන කාලේ. මේ නිසා ගොඩක් දුක් වින්ඳා. මේ දුකෙන් ගොඩ එන්න නම් පුතාල දෙන්නට හොඳට උගන්වන එක තමයි එක ම පිළියම කියලයි අපි විශ්වාස කරගෙන හිටියේ. ඒ නිසා නිතර ම පුත්තු දෙන්නා අධ්‍යාපනයට තමයි යොමු කළේ. පුතාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ පාසලේ විභාගවලින් ඉහළ ලකුණු ලබා ගත යුතුයි කියන කොන්දේසිය එක්ක. පුතා ඒ දෙක ම ඉහළින් ම කළා.”

මිලාන් සිය ආදරණීයයන් සමඟ

මිලාන්ගේ පියා ආර්. එම්. රංබණ්ඩා මහතා. විශ්‍රාමික සුවයෙන් ගෙදරට වී සිටිනවා. මල්ලි, මිලින්ද ප්‍රභාත් රත්නායක. ඔහුත් ශ්‍රී සුමංගල විද්‍යාලය නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මොවුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු මෙන් ම ක්‍රීඩා කටයුතුවල බර-පැන දැරීමට රීටා රත්නායක මහත්මිය කාලයක් වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කළ බැව් ද පවසනවා.

මොනදේ වුනත් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුයි, කැමති දේවලුයි වෙනුවෙන් කැප නොවී බැහැ නේ. අපි ඒ කැපවීම කළා. ලොකු පුතා අනෙක් අය එක්ක ගොඩක් වෙනස් කෙනෙක්. පවුලට, ඥාතීන්ට, යාළු මිත්‍රයන්ට ගොඩක් ලැදියි. කවදාවත් කාගෙවත් හිත රිද්දන කෙනෙක් නෙමේ. මට තාත්තා කෙනෙක් වගේ. කොහේ හිටියත් එයා මුලින් ම අහන්නේ අම්මා හොඳින් ද කියලා. පුතාට අද ලැබූ දේ ගැන ගොඩක් සතුටුයි. ඒ සතුට මහා පරිමාණයෙන් එහාට ගිහින් සමරන්නඑයාව බදාගෙන අඬලා සතුටු වෙන්න අවශ්‍ය නැහැ. කාටවත් නොපෙනෙන්න හදවතින් ම සතුටු වෙනවා. ඒ සතුට භුක්ති විදිනවා. පුතත් එහෙමයි. පුංචි දවස්වල සිට ම එයාට හැම දෙයක් ම මධ්‍යස්ථව විඳ දරා ගන්න එයාටත් පුළුවන්,” රීටා රත්නායක මහත්මිය පවසනවා.

මිලාන් ශ්‍රී සුමංගල විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දක්වා ම ක්‍රීඩා කරනවා. වරෙක වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා ගෙන යෑමටත් සහ තවත් වරෙක වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන යෑමටත් මිලාන් දක්ෂතා හේතු වෙනවා. වසර කිහිපයක් ම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තම දක්ෂතා මුදා හැරි මිලාන් 2016 වසරේ දී ශ්‍රී සුමංගල විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා.

මිලාන් 17න් පහළ ක්‍රීඩා කරන අවධියේ දී

එවර තරගාවලියේ දී මිලාන් පන්දු යවන්නෙක්ට අමතර ව පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වනවා. ඒ අනුව මයුරපාද විද්‍යාලයට එරෙහිව ලකුණු 152ක්, ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයට ලකුණු 100ක් සහ ඉබ්බාගමුව ආදර්ශ විද්‍යාලයට එරෙහිව ලකුණු 76ක් ද සමඟින් ලකුණු 800කට ඉහළ ලකුණු සංඛ්‍යාවක් එම පාසල් තරග සමයේ දී වාර්තා කරනවා. පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 70 සීමාව පසු කිරීමට මිලාන් සමත් වෙනවා.

කොච්චර ක්‍රිකට් ගැහුවත් පුතා පාසල් පොත පතේ වැඩ අමතක කළේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් ම සමත් වෙලා, උසස් පෙළ ගණිත අංශයෙන් ඉගනුම ලැබුවා. මේ කාලයේ ම පුතා වේගපන්දු යවන්නන්ගේ සංචිතයට කැඳවීමක් ලැබුණා. කුරුණෑගල පැවති 23න් පහළ තරගයක දී ක්‍රිකට් විනිසුරු ජයන්ත ද සිල්වා මහතා පුතාගේ දක්ෂතා දැකල තමයි මේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසලා තිබුණේ. ඒක එයාගේ ගමනේ වැදගත් සංධිස්ථානයක් බවට පත් වුනා.”

මිලාන් පාසලේ දක්ෂතම සිසුවා වෙමින්

මිලාන්ගේ ගම පානකඩුව. වාරියපොළ නගරයේ සිට කිලෝමීටර් 10ක පමණ ගිය තැන කටුපොත නමැති ප්‍රදේශයේ පිහිටා තිබෙන පුංචි ගමක්. මිලාන් වෙත ලැබුණ මේ කැඳවීම මේ ගමට පමණක් නොවේ, වාරියපොළ ප්‍රදේශයට ම ඒක ලොකු ප්‍රවෘත්තියක් වුනා.

මිලාන්ගේ දක්ෂතාවට මෙන් ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දැඩි කැපවීමට ලැබුණ දෙයක් ඒක. මේ නම් කිරීමත් සමඟ වාරියපොළ ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නව පිඹිදීමක් සිදු වුනා. නවක ළමයි බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු වුනා. මේ වෙද්දීත් ඔවුන්ගේ එක ම බලාපොරොත්තුව මෙන් ම ආදර්ශමත් ක්‍රීඩකයා බවට පත් වෙලා තිබෙන්නේ මිලාන්,” ගස්පෙ මහතා පැවසුවා.

වේගපන්දු යවන්නන්ගේ පුහුණු සංචිතයේ දී මිලාන් අනූෂ සමරනායක මහතා යටතේ පුහුණුවීම් ආරම්භ කරන අතර ඒ සමඟ ම චමිල ගමගේ, චමින්ද වාස්, දර්ශන ගමගේ, රවින්ද්‍ර පුෂ්පකුමාර සහ චම්පක රාමනායක යන මහත්වරුන් යටතේ ද පුහුණුවීම් ලැබීමට අවස්ථාව සැලසුණා.

මේ කාලයේ ම මිලාන්ට චමිල ගමගේ මහතාගේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම හා එක් වීමට අවස්ථාව උදා වෙනවා. ඒ අනුව 2016 වසරේ සිට 2019 වසර දක්වා ම මිලාන් තම දක්ෂතා මුදා හරින්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායමට.

අනතුරුව මිලාන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් හා එක් වීමට ගුවන් හමුදාවෙන් ඉවත් ව මෙරටින් පිට වෙනවා.

පුතාට ලොකු බලාපොරොත්තුවක්, අධිෂ්ඨානයක් තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්න ඕන කියලා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා. ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවෙත් ගොඩක් දෙනෙක් එහේ නතර වෙන්න කියද්දී ලංකාවට ආවේ, අම්මේ මට ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න ඕන ඒ නිසා එනවා කියලා. ඒ  ඇවිත් පුතා එතැන් සිට එකතු වෙන්නේ මුවර්ස් ක්‍රීඩා සමාජය සමඟ. එතැනදීත් එයාගේ ගමනට විශාල දායකත්වයක් ලැබුණා. ක්‍රිකට් වෙනුවෙන් බොහෝ කැපවීම් කළ පුතාට, ඒ වෙනුවෙන් අද එයාගේ බලාපොරොත්තු මේ තරමින් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි,” රීටා රත්නායක මහත්මිය ThePapare.com සමඟ පැවසුවා.

මිලාන් රත්නායකගේ ඉදිරි ගමනට ThePapare.com හි සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<