ටෙස්ට්  ශතක ජයග්‍රහණයක වරුණ

68

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අයර්ලන්තය සමඟ පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉනිමකින් සහ ලකුණු 10කින් ජයග්‍රහණය කරනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙරට ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වාර්තා කිරීමට දායක වුනා.

1982 දී ඇරඹි මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය මේ වනවිට විසිරි ඇත්තේ, ක්‍රීඩා කළ තරග  311ක්, ජයග්‍රහණය කළ තරග 100ක්, පරාජිත තරග 119ක් සහ විසඳුමක් නොමැතිව නිමා වූ තරග 92ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ගමන් මඟ
  ප්‍රතිවාදීන් කාලය තරග ජය පරාජ නොවිසඳුණ
1 ඕස්ට්‍රේලියාව 1983-2022 33 5 20 8
2 බංග්ලාදේශය 2001-2022 24 18 1 5
3 එංගලන්තය 1982-2021 36 8 17 11
4 ඉන්දියාව 1982-2022 46 7 22 17
5 අයර්ලන්තය 2023 2 2 0 0
6 නවසීලන්තය 1983-2023 38 9 18 11
7 පාකිස්තානය 1982-2022 57 17 21 19
8 දකුණු අප්‍රිකාව 1993-2021 31 9 16 6
9 බටහිර ඉන්දීය කොදෙව් 1993-2021 24 11 4 9
10 සිම්බාබ්වේ 1994-2020 20 14 0 6

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් ජයග්‍රහණ 100ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරනු ලැබූ 8 වැනි කණ්ඩායම ලෙසයි, නිමා වූ තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලැයිස්තුගත වූයේ. නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු රටවල් අතරින් කෙටි කාලයක් තුළ ටෙස්ට් තරග 100ක් ජයග්‍රහණය කළ රට බවට පත් වීමට ශ්‍රී ලංකාව සමත් වුනා. 1982 වසරේ දී ටෙස්ට් වරම් හිමි කර ගන්නා ශ්‍රී ලංකාව මේ වෙද්දී ගෙවා දමමින් සිටින්නේ 41 වැනි වසරයි.

එහි දෙවැනි අසුන වසර 54ක් ගත් පාකිස්තානයටත් සහ තෙවැනි අසුන වසර 60ක් ගත් බටහිර ඉන්දීය කොදෙව්වන්ටත් හිමි වෙනවා.

මෙම ජයග්‍රාහී කඩඉම පසු කරද්දී සහභාගී වූ තරග අනුව ඉතා ඉක්මනින් ම ටෙස්ට් ජයග්‍රහණ 100ක් ලද කණ්ඩායම් අතර 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා.

එමෙන් ම ඔවුන් ලද මෙම ජයග්‍රහණයත් සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කරන ආසියානු රටවල් අතරින් ඉක්මනින් ම ටෙස්ට් ජයග්‍රහණ 100ක් ලද කණ්ඩායම බවට ද පත් වුනා.

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තරග 311කට පමණක් සහභාගී වෙමින් එකතු වෙද්දී පාකිස්තානය තරග 320කට ද සහ ඉන්දියාව තරග 432කට ද සහභාගී වෙමිනුයි ලැයිස්තුවට එක් වෙන්නේ.

එංගලන්තය මෙම ලැයිස්තුවේ පළමුවැනියා වන්නේ 1939 වසරේ දී ඊට එක් වෙමින්. ඉන් අනතුරුව ටෙස්ට් තරග 100ක් ජයග්‍රහණය කළ රට ලෙස වාර්තා පොත් අතරට එක් වෙන්නේ ඕස්ට්‍රේලියාවයි. ඒ ඊට වසර 12කට පසුව 1951 වසරේ දී ටෙස්ට් තරග 199කට සහභාගී වෙමිනුයි. ඒ අනුව ඔවුන් ටෙස්ට් ශතක ජයග්‍රහණයක් කරා ඉක්මනින් ම පැමිණි කණ්ඩායම බවට පත් වුනා.

මෙම ලැයිස්තුවේ ටෙස්ට් තරග ජයග්‍රහණ 100ක් වාර්තා කළ මන්දගාමී ම කණ්ඩායම බවට පත් වන්නේ නවසීලන්තයයි. ඔවුන් මේ වෙනුවෙන් ටෙස්ට් තරග 441කට ක්‍රීඩා කරනවා. මේ වෙනුවෙන් ඔවුන් ගත කළ කාලය වසර 90ක්.

කාලය අනුව ගණනය කිරීමේ දී ටෙස්ට් තරග 100ක් ජයග්‍රහණය කළ මන්දගාමී කණ්ඩායම බවට පත් වන්නේ දකුණු අප්‍රිකාවයි. ඔවුන්ට මෙම කඩඉම තරණය කිරීම සඳහා වසර 117ක කාලයක් වැය වුනා.

ටෙස්ට් ශතක ජයග්‍රහණයක් කරා ආ ගමන
ජයග්‍රහණ 100 කඩඉම වර්තමාන තත්ත්වය
  කණ්ඩායම තරග වසර Mat Won Lost Drown Tied Spam
1 එංගලන්තය 241 1939 1060 388 318 354 0 1877-2023
2 ඕස්ට්‍රේලියාව 199 1951 853 405 229 217 2 1877-2023
3 බ. ඉ. කොදෙව් 266 1988 571 182 208 180 1 1928-2023
4 දකුණු අප්‍රිකාව 310 2006 460 177 158 125 0 1889-2023
5 පාකිස්තානය 320 2006 451 146 139 166 0 1952-2023
6 ඉන්දියාව 432 2009 569 172 175 221 1 1932-2023
7 නවසීලන්තය 441 2020 464 112 182 170 0 1930-2023
8 ශ්‍රී ලංකාව 311 2023 311 100 119 92 0 1982-2023

ශ්‍රී ලංකාව ටෙස්ට් ජයග්‍රහණ 100ක් සපුරා පැමිණි ගමනේ ආරම්භය ඉතා අපහසුවෙනුයි සිදු වුනේ. ඔවුන්ට මංගල ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක පහස විඳ ගැනීමට ටෙස්ට් වරම් හිමි වී වසර 3කට අධික කාලයක් බලා සිටීමට සිදු වුනා. 1982 දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මංගල ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය වාර්තා කරන්නේ 1985 සැප්තැම්බර් මාසයේ දී. ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු 149කින් පරාජය කරමින්.

එදා සරවනමුත්තු ක්‍රීඩාංගණය ලෙසින් හැඳින්වූ මෙදා පී. සරා Oval නමින් යුත් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා නායකයා වූයේ දුලිප් මෙන්ඩිස් වූ අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ Kapil Dev වෙතයි.

මේ තරගය වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග 13කට සහභාගී වී සිටි අතර ඉන් තරග 8ක් පරාජය වී තරග 5ක් නොවිසඳුණ තරග ලෙසින් ඉතිහාසයට එක් කර තිබුණා. ක්‍රීඩා කළ රටවල් අතරින් එංගලන්තය, පාකිස්තානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව  සහ නැවත නවසීලන්තය සමඟ තරගාවලි 5 පරාජය වී තිබූ අතර ඉන්දියාව සහ එංගලන්තය සමඟ තරගාවලි නොවිසඳුණ තරගාවලි ලෙසින් සටහන් ව තිබුණා.

ජයග්‍රාහී මෙම තරගය පැවති තරගාවලිය තරග 3කින් සමන්විත වූ අතර පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් ව තිබුණා. අනතුරුව පැවති දෙවැනි තරගය ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවැනි තරගය ද ජය පරාජයෙන් තොරව අවසන් කරමින් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කරමින් මංගල තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කළා.

එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වසර 38ක දී තරගාවලි 125කට මුහුණ දුන්නා. එකී ජයග්‍රාහී තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් තරගාවලි 46ක් ජයග්‍රහණය කරමිනුයි මෙම ටෙස්ට් තරග 100ක් ජයග්‍රහණය කිරීමේ කඩඉම කරා පැමිණියේ.

මංගල තරග ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ දක්වා කාලයේ දී තරගාවලි 50ක දී ප්‍රතිවාදීන් ඉදිරියේ හිස් අකුලාගෙන තිබෙන අතර තවත් තරගාවලි 26ක් තීරණයකින් තොරව අවසන් කර තිබෙනවා.

එවන් ගමනක ජයග්‍රාහී කඩඉමකට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අපගේ සුබ පැතුම්!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<