මුරලිව රිදී තිරයට ගෙනෙන “800”

339

“ඔයා දන්නවා ද දෙයක්? මම හොඳම දඟපන්දු යවන්නා විය යුතු නම් මට ගාල්ලේ දී ඕනෑම කණ්ඩායමකට එරෙහිව කඩුලු 8ක් ලබා ගන්න පුළුවන් විය යුතුයි.”

ඒ වගේම මම කඩුලු 8ක් දවා ගත්තොත්, මම මගේ කඩුලු 800 ලබා ගන්නවා විතරක් නෙවෙයි, අපි මේ ටෙස්ට් තරගයත් ජයග්‍රහණය කරාවී. මට ඒක ගන්න බැරි නම්, බැහැම තමයි. ඒ නිසා මේ තමයි මගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස අවිවාදයෙන් යුතු ව සැලකුම් ලබන මුත්තයියා මුරලිදරන් විසින් කුමාර් සංගක්කාර අමතමින් ඒ විදිහේ ප්‍රකාශයක් කරන්නේ සංගා විසින් මුරලිගේ ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ තීරණය වෙනස් කරන්න කියලා කරපු ඉල්ලීමෙන් පසුවයි.

එ වෙද්දී මුරලි තීරණය කරලා තිබුණේ 2010 දී ඉන්දියාව සමඟ පවත්වන්න නියමිත වෙලා තිබුණ පළවෙනි ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන්න. ඒ වෙද්දී මුරලිගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 792ක් විදිහට සටහන් වෙලා තිබුණා. කඩුලු 800 කියන අතිවිශිෂ්ට කඩඉමට ළඟා වෙන්න ඔහුට තවත් කඩුලු 8ක් පමණයි අවශ්‍ය වුනේ. ඒ වෙනුවෙන් මුරලිට ඉතුරු වෙලා තිබුණේ එක තරගයක් විතරයි. මේ වෙලාවේ දී තමයි සංගා විසින් මුරලිගෙන් ඉල්ලන්නේ ඒ තීරණය ගැන ආයෙත් වතාවක් සලකා බලන්න කියලා.

නමුත් මුරලි ඒ ඉල්ලීමට එකඟ නොවී සංගාට ලබා දුන්න පිළිතුර තමයි ඉහතින් සඳහන් වෙන්නේ.

මුරලි විසින් සිය 800 වැනි කඩුල්ල දවා ගැනීම

Ravichandran Ashwin සමඟ වැඩසටහනකට සහභාගී වෙමින් සිය අතීත මතකය නැවත අලුත් කරවපු සංගා ඊට පසුව මෙහෙම කියනවා.

“මම එහෙම්ම වාඩි වෙලා මෙහෙම හිතුවා.

මේ මනුස්සයා නම් ශූරයෙක් ම තමයි කියලා.”

අන්න ඒ ශූරයා වෙනුවෙන් අද ඉන්දියාවෙන් ම චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා.

චිත්‍රපටිය නම් කරලා තියෙන්නේ මුරලි විසින් ඉන්දියාවට එරෙහිව ම 2010 ජූලි මාසයේ 22 වැනිදා Pragyan Ojhaව දවා ගනිමින් ළඟා කර ගත්ත කඩුලු 800 මතකයට නැංවීම වෙනුවෙන් ම “800” කියලයි.

දකුණු ඉන්දියාවෙන් බිහි වුන විශිෂ්ටතම නළුවෙක් විදිහට Vijay Sethupathiව හඳුන්වලා දෙන්න පුළුවන්. ඉන්දියාවේ දී ඔහුව හඳුන්වලා දෙන්නේ Makkal Selvan කියලා. ඒ නමේ තේරුම් තමයි ජනතාවගේ නළුවා කියන එක. අන්න ඒ ජනතාවගේ නළුවා ව තමයි මුරලිගේ චරිතයට පණ දෙන්න පළමුව තෝරා ගන්නේ.

Vijay Sethupathi විසින් මුරලිට පණ ලබා දීමට දුන් උත්සාහය අසාර්ථක වුනා.

800 චිත්‍රපටිය ගැන මුලින් ම නිල වශයෙන් නිවේදනය කරන්නේ 2020 අවුරුද්දේ දී.

2020 දී සැලසුම් කරපු විදිහට 2021 වර්ෂය අග භාගයේ දී මේ චිත්‍රපටිය තිරගත වෙන්න නියමිත වෙලා තිබුණා.

ඒත්….!

ඒක ඒ විදිහට 2021 වසර අග දී තිරගත වුනේ නැහැ. තිරගත වීම තියා රූ ගත කරන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.

“LTTE සමඟ පැවති සිවිල් යුද්ධයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුවට සහය දුන් බව සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට පණපෙවීමට Vijay Sethupathi විසින් ගත් තීරණය මතභේදයට තුඩු දී ඇත.”

Sethupathi සමඟින් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න සූදානම් වුන කාලයේ ඉන්දීය වෙබ් අඩවියක් විසින් ඉහත සඳහන් ප්‍රවෘත්තිය පළ කරනවා.

මේ පුවත පළ වෙන්නේ Indian Express වෙබ් අඩවිය හරහා. ඒ වගේම බොහෝ ඉන්දීය මාධ්‍ය හරහා මේ පිළිබඳ වාර්තා නිකුත් වෙනවා. ඒ හැමදෙයක ම සාරාංශය තමයි ඉන්දීය නළුවෙක් LTTEයට විරුද්ධ වුනු ශ්‍රී ලාංකිකයෙකුගේ චරිතයක් රඟපෑමට සූදානම් වීම පිළිබඳ සාමාන්‍ය මිනිස්සු (විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ) උරණ වී ඇති බව.

මේ විරෝධය පළමුවෙන් ම එල්ල වෙන්නේ මහජනයා තුලින් ද එහෙම නැත්නම් මහජනයාව ඒ තැනට වෙන කවුරුන් හෝ තල්ලු කරා ද කියන කාරණය ගැන සැක සංකා මතු වුනත්, ප්‍රශ්නය දුර දිග යන්න යන්න දකුණු ඉන්දීය සිනමා තරු වගේම දේශපාලකයිනුත් (දකුණු ඉන්දීය සිනමාව සහ දේශපාලනය ඉතා සමීප නෑ කමක් ඇති ක්ෂේත්‍ර දෙකක්.) විසින් Vijay Sethupathiට 800 චිත්‍රපටියෙන් ඉවත් වෙන ලෙස බලපෑම් එල්ල කරනවා.

ඔවුන් එතන දී Sethupathi හට ප්‍රධාන ලෙස ම අවධාරණය කරන දේ තමයි “දමිළ ජනයාගේ හැඟීම් පිළිබඳ තේරුම් ගෙන මේ සිනමාපටයෙන් ඉවත් වෙන්න ” කියන එක.

අවසානයේ මුත්තයියා මුරලිදරන් විසිනුත් Vijay Sethupathiට කියනවා මේ සිනමාපටයෙන් ඉවත් වෙන්න කියලා.

ඔහු ඒ වෙනුවෙන් සිය හේතුව විදිහට සඳහන් කරන්නේ Vijay Sethupathi වැනි විශිෂ්ට කලාකරුවෙකුගේ වෘත්තීය ජීවිතය කඩාකප්පල් කරන හේතුවක් වෙන්න තමන්ට අවශ්‍ය නැති බව.

“අනාගතයේ දී ඔහුගේ වෘත්තීය ජීවිතය තුල ඔහුට අනවශ්‍ය බාධාවන් ඇති නොවිය යුතුයි. ඒ නිසා මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා සිනමාපටයෙන් ඉවත් වෙන්න කියලා.”

එමෙන් ම කිසිම මොහොතක පසුබැසීම් නිසා තමන් තෙහෙට්ටුවට පත් නොවූ බව සහ අද ඔහු සිටින තැන තෙක් ඒමට නිරන්තරයෙන් ම බාධක තරණය කිරීමට සිදු වූ බවත් මුරලි එහි දී සඳහන් කර තිබුණා.

අවසානයේ මුරලිගේ ඉල්ලීම ද පරිදි Sethupathi විසින් චිත්‍රපටියෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. නමුත් ජනතාවගේ නළුවා ලෙස විරුදාවලි ලත් Sethupathi මේ චිත්‍රපටියෙන් ඉවත් වෙන්නේ මුරලි විසින් කළ ඉල්ලීම නිසා ම නොවන බව මුරලි වගේම Sethupathiත්, අනෙක් සියලු ම දෙනාත් දන්න කාරණයක්.

චිත්‍රපටියෙන් ඉවත් වීමෙන් පසුව පවා Sethupathiට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පවා එල්ල වුන තර්ජන වල අඩුවක් නොවීම ම ඊට හොඳම උදාහරණය ලෙස දැක්විය හැකි.

පසුගිය අප්‍රේල් 17 වැනිදා මුරලිදරන් සිය 51ක් වැනි උපන්දිනය සැමරුවා. ඔහුගේ උපන්දිනයට සමගාමී ව වසර දෙකකට ආසන්න කාලයක් ඇණ හිටලා තිබුණු 800 සිනමාපටය පිළිබඳ කතාබහ නැවත වරක් අලුත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 20කට ආසන්න කාලයක් තිස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කරමින්, ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වගේම ලොව වැඩිම එක්දින කඩුලු ලාභියා බවට ද පත්වීමට සමත් වුන මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය නැවතත් සිනමා පටයක් ලෙස රිදී තිරයට රැගෙන එන්න ඉන්දියාවෙන් ම සූදානම් වෙනවා.

Madhur Mittal විසින් රංගනයේ යෙදෙන 800 සිනමාපටයේ මුරලිගේ පෙනුම.

මීට පෙර මුරලිගේ චරිතයට පණ දෙන්න සූදානම් වෙලා හිටපු Sethupathi වෙනුවට මේ වතාවේ Madhurr Mittal කියන රංගන ශිල්පියා ව තෝරා ගන්න තීරණය කරලා තියෙනවා.

Madhur කියන්නේ Sethupathi තරම් තරු ලකුණු පෙන්වපු නළුවෙක් නෙවෙයි, ඒත් Madhurගේ නම ඉදිරියෙන් සඳහන් වෙන ප්‍රධානතම චිත්‍රපටියක් තමයි Slumdog Millionaire කියන්නේ.

අතේ ඇඟිලි ගාණට තරම් චිත්‍රපටිවලට සම්බන්ධ වෙලා තියෙන Madhur තමයි ලෝක ප්‍රසිද්ධ Slumdog Millionaire චිත්‍රපටියේ Salim කියන චරිතයට පණ දුන්නේ.

ඔහු ජනප්‍රියත්වය අතින් Sethupathiට ලං නොවුනාට දක්ෂතාව අතින් අපිට කේවල් කරන්න බැරි තරම් ශක්‍යතාවක් ඇති නළුවෙක් බවත් පිළිගන්න සිදු වෙනවා.

ඒ වගේම මේ වෙද්දීත් චිත්‍රපටියේ රූගත කිරීම් බොහෝ දුරට අවසන් වෙලා තියෙන බව තමයි Times of India වෙබ් අඩවිය සඳහන් කරන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකාව වගේම ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කියන රටවල දර්ශන තල රූගත කිරීම් වෙනුවෙන් භාවිත කරලා තියෙන බවත් වාර්තා වෙනවා.

බොහෝ විට මේ වසර අග භාගයේ දී සිංහල, දෙමළ, තෙළිඟු සහ හින්දි භාෂාවලින් හඬකැවීම් කළ, ඒ වගේම ඉංග්‍රීසි උපසිරැසිත් සමඟින් ම අපිට මුරලිගේ කතාව 800න් නැරඹීමට අවස්ථාව උදා වෙවී කියලා තමයි දැනට වාර්තා වෙන්නේ.

නමුත් දින වකවානු ගැන අපිට ඒ තරම් ම ලොකු බලාපොරොත්තු තියාගන්න හිතේ ඉඩක් නොදෙන්නේ මේ සිනමා පටය සමඟ බැඳුණු අතීත සිද්ධි දාමයන් නිසා. කොහොම වෙතත් ක්‍රිකට් රසිකයෙකු විදිහට සිනමා ශාලාවක් වෙත ගිහින් ලෝකයක් මවිත කරවපු ජීවමාන වීරයකුගේ කතාවක් නරඹන්න ලැබෙනවා කියන එක බොහෝ ආශ්වාදය ජනක මොහොතක් වේවි.

අපි ඒ මොහොත වෙනුවෙන් බලාපොරොත්තු සහගත ව මඟ බලා ගෙන හිඳිමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<