ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දීය මුද්‍රාව

508
Getty Images

ලෝක කුසලානයේ ඉතිහාසය ගැන කතා කරද්දී සචින් තෙන්දුල්කාර් කියන චරිතය අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ. 

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ තෙන්දුල්කාර්. තරග 45ක දී තෙන්දුල්කාර් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2278ක්. ඒ ඉනිමක සාමාන්‍ය 56.95 ලෙස ඉහළ අගයක රඳවා ගනිමින්. ඊට ශතක හයක් සහ අර්ධ ශතක 15ක් ඇතුළත්. 

අපි කතා කරන්න යන්නේ තෙන්දුල්කාර්ගේ ලෝක කුසලාන චාරිකාවේ අපූරු තැන් කිහිපයක් ගැන. 

සචින්ගේ ටෙනිස් උන්මාදය.

ටෙනිස් ක්‍රීඩාවේ නිරත වන සචින් තෙන්දුල්කාර්

1983 වසරේ ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ දෙවරක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

බොහෝ ඉන්දියානුවන් ප්‍රකාශ කරන්නේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ජීවය ලබා දුන්නේ ඉහත කී ලෝක කුසලාන ජයග්‍රහණය බව. 

මේ ලෝක කුසලාන ජයග්‍රහණය නොවන්නට ඉන්දියාවට සුපිරි තරග දිනවන්නෙක් අහිමි වන්නට තිබුණා. 

1983 ලෝක කුසලානය ඇරඹෙන සමය වන විට බොම්බායේ විසූ සචින් තෙන්දුල්කාර් නම් කුඩා දරුවා උග්‍ර විම්බල්ඩන් සහ ටෙනිස් උමතුවකින් පෙළුණා. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා වුනේ සුප්‍රකට ඇමෙරිකානු ක්‍රීඩක ජෝන් මැකෙන්රෝ 

කුඩා සචින් කොයිතරම් මැකෙන්රෝ උන්මාදයකින් පෙළුණේ ද කියනවා නම් ඔහු ටෙනිස් ක්‍රීඩාවේ යෙදුණේ තමාගේ කැරලි ගැසුණු කොණ්ඩය මැකෙන්රෝ ආකාරයෙන් සකසා ගෙන. අසල්වැසියන් තමාට මැකෙන්රෝ නමින් අමතනවාට ඔහුගේ තිබුණේ අසීමිත ආශාවක්. ඔහුගේ සම වයසේ උදවිය නැවත ක්‍රිකට් ක්‍රීඩාව වැඩි අවධානයක් දෙන ලෙස කෙතරම් පෙරැත්ත කළත්, සචින්ගේ ටෙනිස් උමතුව නම් සංසිඳුණේ නැහැ.  

සියල්ල වෙනස් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ. 1983 කපිල් දේව්ගේ නායකත්වයෙන් ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනිද්දී, බොහෝ තරුණ පිරිස් නැවත රූපවාහිනිය වටා එක්වෙමින් ක්‍රිකට් ක්‍රීඩාව වැළඳ ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරමක් දුරට ඈත් වී සිටි සචින් තෙන්දුල්කාර් නම් දරුවා ද ඉන් එක් අයෙක්.  

එදා ඉන්දියාවට ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකි වූවා නම් සචින් තෙන්දුල්කාර් වැන්නෙකු බිහි නොවීමට වැඩි ඉඩකඩක් තිබූ බව සචින්ගේ සහෝදරයා අජිත් තෙන්දුල්කාර් සිය ග්‍රන්ථයේ ලියා තිබෙනවා. 

ලෝක කුසලානයක මුල්ම අත්දැකීම 

1987 අවුරුද්දේ ලෝක කුසලානය පැවැත්වුණේ ඉන්දියානු උපමහද්වීපයේ. එංගලන්තයෙන් පිටට ලෝක කුසලාන තරගාවලිය පැමිණි මුල්ම අවස්ථාව එය වුනා. 

මේ තරගාවලියේ ඇතැම් තරගවල දී හතරේ සීමාවෙන් එපිට පන්දු අහුලන්නට යොදා ගත් කොලුගැටයින් අතර සචින් තෙන්දුල්කාර් ද හිටියා. ඒ වගේම ඔහුගේ අතිජාත මිත්‍රයා විනෝද් කම්බ්ලිත් ඔහු සමඟ එක්වුණා. 

එවකට බොම්බායේ පාසල් ක්‍රිකට් පිටිය වර්ණවත් කරමින් සිටි සචින් තෙන්දුල්කාර් නම් යෞවනයා ඉන්දියානු ක්‍රීඩකයින්ගේ ක්‍රීඩක විවේකාගරයට රැගෙන ගොස් සෙසු ඉන්දීය ක්‍රීඩකයින්ට හඳුන්වා දෙන්නට සුනිල් ගවස්කාර් ක්‍රියා කළා. 

ඊට වසර පහකට පසුව සචින් තෙන්දුල්කාර් සිය ක්‍රිකට් වීරයින් සමඟ ලෝක කුසලානයකට සහභාගී වන්නට ඕස්ට්‍රේලියානු සහ නවසීලන්තය බලා යනවා. 

තෙන්දුල්කාර්ට අසාමාන්‍ය පිත්තක්! 

1996 විල්ස් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම වුනත්, තරගාවලිය පුරාම අති සාර්ථක වුන එක්තරා ක්‍රීඩකයෙක් හිටියා ප්‍රතිවාදී කණ්ඩායමක. ඒ තමයි සචින් තෙන්දුල්කාර් 

1996 ලෝක කුසලානය ආරම්භ වෙනවාත් එක්කම සචින් තෙන්දුල්කාර්ගේ පිත්ත වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න සමාගම් දෙකක් ඉදිරිපත් වෙනවා. නමුත් ඔහු මෙම අනුග්‍රාහක අවස්ථා දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි ලෝක කුසලානය ඉදිරියේ තබාගෙන අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන නිසාත් ලෝක කුසලානය කෙරෙහි තිබෙන අවධානය දිගටම රඳවා ගැනීමට අවශ්‍ය නිසාත්. 

1996 ලෝක කුසලාන තරගයක දී ලකුණක් කරා දිවයන සචින් තෙන්දුල්කාර්

දිනක් පුහුණු සැසියක් අතරතුර ඉන්දීය පුහුණුකරු අජිත් වඩේකාර් භාවිත කරමින් සිටි සැහැල්ලු පිත්තක් දකින තෙන්දුල්කාර් එය වඩේකාර්ගෙන් ඉල්ලා ගන්නවා. එය සාමාන්‍ය පිත්තකට වඩා බරෙන් අඩු එකක්. තෙන්දුල්කාර්ට  

කුමන හෝ හේතුවකට මේ පිත්තට සෑහෙන ආශාවක් ඇති වෙනවා. ලෝක කුසලානය පුරාවටම තෙන්දුල්කාර් පිතිකරණයේ යෙදෙන්නේ වඩේකාර් පුහුණුවීම්වලට ගෙන ආ වැඩි වටිනාකමක්  නැති මේ සරල පිත්තෙන්. 

නමුත් තරගාවලිය පුරාවටම සාමාන්‍ය පිත්තක් යොදා ගෙන තෙන්දුල්කාර් රැස් කල ලකුණු ප්‍රමාණය නම් තිබුණේ අසාමාන්‍ය මට්ටමක. ඔහු ලෝක කුසලාන තරගාවලියේ තරග හතක දී ලකුණු 523ක් රැස් කලේ ඉනිමකට ලකුණු 87.16 සාමාන්‍යයක් රඳවා ගනිමින්. 

පියා වෙනුවෙන් කැප කළ ශතකයක් 

1999 එංගලන්තයේ දී ආරම්භ වූ ලෝක කුසලාන තරගාවලිය ඉන්දියානු කණ්ඩායම ආරම්භ කළේ එතරම් යහපත් ආකාරයකින් නෙවෙයි. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් ලද පරාජයත් සමඟ. ඊළඟ තරගය ඔවුන්ට ක්‍රීඩා කිරීමට තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව. සිම්බාබ්වේ තරගයට පෙර දිනයේ සවස සචින් තෙන්දුල්කාර්ගේ පියා රමේෂ් තෙන්දුල්කාර්  මියගිය පුවත එංගලන්තයට ආරංචි වෙනවා. 

පසුදා උදෑසන ඔහු මුම්බායි බලා පිටත් වෙනවා තම පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට. තමන් සතු විශිෂ්ටතම පිතිකරුවා නොමැතිව සිම්බාබ්වේ කණ්ඩායමට මුහුණ දෙන ඉන්දියානුවන් එම තරගයෙන් ලකුණු තුනක තියුණු පරාජයක් ලබනවා. තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මීළඟට කෙන්යා තරගය මෙන්ම අනෙකුත් තරග ජයග්‍රහණය කිරීම ඉන්දියානුවන්ට අත්‍යවශ්‍ය කාරණාවක් වුනා. 

ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් මුල්ම තරග දෙකම පරාජයට පත්වීමෙන් මානසිකව වැටී සිටි ඉන්දියානුවන්ට විශාල අස්වැසිල්ලක් ලැබෙන්නේ මේ අතරේ. ඒ තම පියාගේ අවසාන කටයුතු වලින් දින තුනක් යන්නටත් පෙර සචින් තෙන්දුල්කාර් නැවතත් ඉන්දීය කණ්ඩායමට එක්වීමට එංගලන්තය බලා යෑමට තීරණය කරන නිසා.

පියාගේ අභාවයෙන් දින කිහිපයකට පසු ඉන්දියාව වෙනුවෙන් ශතකයක් රැස්කළ සචින් තෙන්දුල්කාර්

ඉන්දියාව සහභාගි වූ ඊළඟ තරගය වෙනුවෙන් සචින් තෙන්දුල්කාර්ගේ දායකත්වය පන්දු 101කින් නොදැවුණ ලකුණු 140ක්. ඔහු ලබාගත් ශතකය තමන්ගේ පියා වෙනුවෙන් කැප කරන බවයි තෙන්දුල්කාර් එදා පැවසුවේ. සචින්ගේ වැඩිමහල් සොයුරු අජිත් තෙන්දුල්කාර් හැරුණු විට සචින්ගේ ක්‍රිකට් ජීවිතයේ පදනම වූයේ ඔහුගේ පියා බවයි පැවසෙන්නේ. 

කෙන්යානු තරගය ඇතුළු ඉතිරි තරග කිහිපය පහසුවෙන් ජය ගත් ඉන්දියානුවන් 1999 ලෝක කුසලානයේ සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබනවා. කෙන්යානු තරගය වෙනුවෙන් තෙන්දුල්කාර්ගේ ආගමනය තමන්ගේ මානසික තත්ත්වය සෑහෙන ඉහළ දැමීමට සමත් වූ බව බොහෝ ඉන්දියානු ක්‍රීඩකයින් පසුව ප්‍රකාශ කර තිබුණා. 

ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා 

2003 වසරේ ලෝක කුසලාන තරගාවලිය අතරතුර පිත්තෙන් ඉහළ දස්කම් දක්වන්නට සචින් තෙන්දුල්කාර් සමත් වුනා. තරග 10ක දී තෙන්දුල්කාර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 673ක්. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 6ක් ඇතුළත් වුනා 

තමන්ගේ සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයා වන පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ජය ලබන්නට තෙන්දුල්කාර් පිත්තෙන් එක් කළ ලකුණු 98 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ අනර්ඝතම ඉනිමක් ලෙසයි සැලකෙන්නේ. 

සව්රව් ගංගුලි, රිකී පොන්ටිං වැනි ක්‍රීඩකයින් අභිබවා ගොස් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගන්නට ඉකුත් දස්කම් තෙන්දුල්කාර් ඉහටත් උඩින් ප්‍රමාණවත් වුනා. නමුත් එවර තරගාවලියේ අවසන් කඩඉම පැන ගන්නට ඕස්ට්‍රේලියානුවන් තෙන්දුල්කාර් ප්‍රමුඛ ඉන්දියානුවන්ට ඉඩ ලබා දුන්නේ නැහැ. 

දැන් බර ඉසිලීමට අපේ වාරයයි. 

2011 වසරේ ලෝක කුසලානය නැවත වතාවක් ඉන්දියානු උපමහද්වීපයට පැමිණෙනවා. ලෝක කුසලානයක පහස නොලැබු සචින් තෙන්දුල්කාර් නම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයාට අමතක නොවන ත්‍යාගයක් ලබා දෙන්නට තමන් සූදානම් බව ඉන්දියානු ක්‍රීඩකයින් බොහෝ අවස්ථාවන්වල ප්‍රකාශ කළා. 

ඉන්දියානුවන් බලාපොරොත්තු වූ පරිදිම ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක ශූරතාවය දිනා ගන්නට ඉන්දියානු කණ්ඩායම සමත් වුනා.

2011 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව කණ්ඩායමේ සාමාජිකයින්ගේ කරමතින් යන සචින් තෙන්දුල්කාර්

මේ ජයග්‍රහණය එක්දින ක්‍රිකට් තරග රටාවේ පිතිකරණ වාර්තා සියල්ලම පාහේ සතු කරගෙන සිටින සචින් තෙන්දුල්කාර් නම් විශිෂ්ටතමයාගේ ක්‍රිකට් ගමන පරිපූර්ණ කළා කිව්වොත් වැරැද්දක් නැහැ. 

“ඔහු වසර විසිඑකක් පුරාවටම දේශයක බර තනිව ඉසිලුවා. දැන් අපිට ඔහුගේ බර උස්සන්න කාලයයි,” ලෝක කුසලානය අවසානයේ විරාත් කෝලි පැවසුවේ සචින් තෙන්දුල්කාර්ගෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සහ ලෝක කුසලානය තරගාවලියට ලද දායකත්වය ඉහළින් අගයමින්. 

සචින් තෙන්දුල්කාර්ගේ වැඩිමහල් සොයුරු අජිත් තෙන්දුල්කාර් ලියූ The Making of a Cricketer: Formative years of Sachin Tendulkar in Cricket, ESPN Cricinfo සහ Wisden Cricket ඇසුරෙනි. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<