ජයග්‍රහණ සියයයි; මතක දහසයි

900

ටෙස්ට් ක්‍රිකට් තරගයක් ‍යනු තනි පුද්ගල ක්‍රීඩාවක් නොවුනත්, ඉතිහාසයේ සමහර දවස් තමන්ගේ කර ගත් ක්‍රීඩකයින් අවසානයේ සම්පූර්ණ ටෙස්ට් තරගය ම පවා තමන්ගේ කර ගැනීමට සමත් වූ අවස්ථා නැතිවා ම නොවෙයි.

ඊයේ (28) අයර්ලන්තය සමඟ පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වීමත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණ 100යේ කඩඉමට ළඟා වීමට සමත් වුනා.

වසර 40ක් පුරාවට ටෙස්ට් ක්‍රිකට් තරග 310ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මෙම දස්කම දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ගෙවුණු වසර 40 පුරාවට ම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ මෙන් ම පරාජයන්ද අත්කර ගැනීමට සිදු වුනා.

නමුත් මෙම ජය, පරාජයන් සියල්ල ම පසෙකින් තැබුවත් ලෝක ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නම් කණ්ඩායම දැක්වූ දස්කම් කිසිවකුට හෝ අමතක කළ නොහැකි තරම් ඉහළින් තැබිය හැකියි.

ක්‍රිකට් ලෝකය ම අදටත් පුදුමයෙන් පුදුමයට පත් කරවන සංගා – මහේල, සනත් – මහානාම යුගලයන් බිහි කළ ලෝක වාර්තා සේම මුරලිදරන්, හේරත් වැනි පන්දු යවන්නන් තැබූ වාර්තා ද බොහෝමයක් එකින් එක සඳහන් කළ හැකියි. නමුත් එම වාර්තාවලට අමතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝකයේ ස්ථාපිත කරවීමට සමත් වූ අඩු ඇගයීමට ලක් වූ ක්‍රීඩක දක්ෂතා කිහිපයක් පහතින් දැක්වෙනවා.

මහේල තට්ට තනියම

වෙන කිසිම පිතිකරුවෙකු සාර්ථක නොවුන දවස්වල මහේල ජයවර්ධන තනිව ම ශ්‍රී ලංකාව වෙනුවෙන් දියත් කළ විශිෂ්ට ඉනිම් කිහිපයක් ම අපිට අතීතයේ දවස් පිරික්සා ගෙන යද්දී මුණ ගැහෙනවා.

එතැනින් මුල් ම තරගය මහේලට තරමක් විශේෂ එකක්.

1998 ගාල්ලේ දී නවසීලන්තයට එරෙහිව;

1997 දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශේෂතම තරග වලින් එකක දී ටෙස්ට් වරම් දිනා ගත් මහේල ජයවර්ධන 1998 ජුනි මාසයේ දී නවසීලන්තය සමඟ ක්‍රීඩා කළ තමන්ගේ සිව්වැනි ටෙස්ට් තරගයේ දී සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගන්න සමත් වෙනවා.

මේ ශතකය තරමක් විශේෂ එකක්. මොකද එදා මහේල ලකුණු 167ක් වාර්තා කරද්දී, දෙපිළෙන් ම ඉන්පසුව වාර්තා වෙලා තිබුණු අනෙක් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ ලකුණු 53.

එමෙන් ම මහේලගේ මේ ඉනිම ශ්‍රී ලංකාවට තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහාත් හොඳ ආරම්භයක් ලබා දුන් වග සඳහන් කළ යුතුමයි.

මහේල විසින් මෙවැනි ම තවත් ඉනිමක් 2012 වසරේ දී ගාල්ලේ දී ම ක්‍රීඩා කරනවා. එදා ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වෙන්නේ එංගලන්ත කණ්ඩායම. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 318ක් ලබා ගනිද්දී ඉන් ලකුණු 180ක් ම මහේලගේ පිත්තෙනුයි වාර්තා වුනේ. එදා ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේලට පසුව වැඩි ම ලකුණු ලබා ගන්න සමත් වුනේ දිනේශ් චන්දිමාල් විසින්, ඒ ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක්.

2006 දී එංගලන්තය ඉදිරියේ පරාජය නොවී සිටීමට මහේලගෙන් ශතකයක්

2006 දී ශ්‍රී ලංකාව විසින් සිදු කළ එංගලන්ත තරග සංචාරය ඉතිහාසයේ අමරණීය මතකයක් ක්‍රිකට් රසිකයින්ට ඉතිරි කළ තරගාවලියක්. මේ සංචාරයේ තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-1ක් විදිහට ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්න ශ්‍රී ලංකාව සමත් වෙනවා. ඒ වෙනුවෙන් ලැබුණු විශාලතම තල්ලුව වුනේ දරුණු පරාජයක් උරුම වෙලා තිබුණු පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්න ශ්‍රී ලංකාව සමත් වීම බවත් විශ්වාස කරන්න පුළුවන්.

එදා එංගලන්තය ලබා දුන්නු ලකුණු 551ක ඉලක්කය වෙනුවෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී ලබා ගන්නේ ලකුණු 192ක් පමණයි. නමුත් මීළඟ ඉනිමේ දී ශ්‍රී ලංකාව තරගයේ පරාජයෙන් බේරෙන්න අග්‍රගණ්‍ය පිතිකරණයක නියැලෙන්නේ මහේලගේ මග පෙන්වීම යටතේ. මහේල ශ්‍රී ලංකාවේ පළමු ඉනිමේ දීත් ලකුණු 61ක් ලබා ගන්නවා. ඊට අමතරව දෙවැනි ඉනිමේ දී ලකුණු 119ක් ලබා ගන්න සමත් වෙනවා. මේ ඉනිම දෙක මහේල තරගයේ වීරයා බවට නම් කරන්නත් හේතු වෙනවා.

ඒ වගේ ම චමින්ද වාස් සහ නුවන් කුලසේකර විසින් මේ තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105ක සබඳතාවක් පිහිටුවන්නත් සමත් වෙනවා. ඒ ඉනිමේ දී කුලසේකර ලකුණු 64ක් සහ වාස් නොදැවී ලකුණු 50ක් ලබා ගන්නවා.

ටෙස්ට් ඉතිහාසයේ හොඳම හඹා යාමකට මහේලගේ දායකත්වය

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විසින් 2006 දී දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත සබඳතාවක් පිහිටවූ තරගයෙන් පසු තරගයේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා සිව්වැනි ඉනිමේ දී ලකුණු 352ක ඉලක්කයක් හිමි වෙනවා.

මේ ඉලක්කය කඩුලු 9ක් දැවී තිබිය දී හඹා යන්න ශ්‍රී ලංකාව සමත් වෙද්දී ඒ වෙනුවෙන් ඉහළ ම දායකත්වය ලබා දෙන මහේල විසින් ලකුණු 123ක් එකතු කරන්න සමත් වෙනවා.

94/2ක් විදිහට සඳහන් වුන ලකුණු පුවරුවේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 11ක් ඉතිරි ව තිබිය දී තමයි මහේල සිය ඉනිම අවසන් කරන්නේ.

එක් දිනයකින් ද්විත්ව ශතකය සම්පූර්ණ කළ මෑඩ් මැක්ස්

 

ශ්‍රී ලංකා කණ්ඩායම 1991 දී නවසීලන්තයේ සිදු කළ තරග සංචාරයේ පැවැත්වුණු ටෙස්ට් තරග තුන ම ජය පරාජයෙන් තොරව අවසන් වුනා. කණ්ඩායම් දෙක ම එකිනෙකා හා කරට කර සටන් කළා.

මේ තරගාවලියේ වෙලිංග්ටන් හී දී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ දී අරවින්ද ද සිල්වා විසින් ලකුණු 267ක් වාර්තා කරන්න සමත් වෙනවා.

ඒ තරගයේ දෙවැනි දිනය පුරා ම පිතිකරණයේ යෙදුණු අරවින්ද එදා දවසේ ශ්‍රී ලංකාව ලබා ගන්න සමත් වුනු ලකුණු 318න් 203ක් ම තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගන්න සමත් වෙනවා.

ඒ වගේ ම 1989 දී ශ්‍රී ලංකාව සිදු කළ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ පැවැත්වුණු එක ම ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී (බ්‍රිස්බේන් හීදී) අරවින්ද විසින් ලබා ගත් ලකුණු 167ත් විශේෂ අගය කිරීමට ලක් කළ යුතුයි.

ඔහු එම තරගයේ වීරයා විදිහටත් සම්මාන දිනා ගන්න සමත් වුනා.

ගුරුසිංහ යෝදයෙකු සේ නැගී සිටී!

ඉහත සඳහන් කළ 91 නවසීලන්ත තරගාවලිය පුරාම අරවින්ද පිත්තෙන් අතිශය සාර්ථක වෙනවා. ඒ වගේ ම අසංක ගුරුසිංහත් තරගාවලියේ දෙවැනි තරගය ජයග්‍රහණය කිරීමේ මාවතට පවා ගෙන එන්න සමත් වෙන්නේ ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කරමිනුයි. නමුත් එදා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කාලය හරස් වුනා.

මේ වගේ විශිෂ්ට ඉනිම් කිහිපයක් ම අසංක ගුරුසිංහ විසින් තමන්ගේ ටෙස්ට් තරග චාරිකාවේ දී වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා.

1995 වසරේ දී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සිදු කරන දීර්ඝ තරග සංචාරය ශ්‍රී ලංකාවට ඉතා ම වෙහෙසකර එකක් වුනා. මේ තරගාවලියේ පැවැත්වුණු ටෙස්ට් තරග තුන ම පරාජය වෙන්නත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වෙනවා.

නමුත් මෙල්බර්න් හී දී පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයේ දී තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත්තු ඉහළ ම ලකුණු ප්‍රමාණය රැස් කරන්න අසංක ගුරුසිංහ විසින් සමත් වෙනවා. ඔහු මේ තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 143ක් ලබා ගනිද්දී ඉනිමේ අනෙක් ඉහළ ම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වෙලා තිබුණේ චන්දික හතුරුසිංහ විසින් රැස් කළ ලකුණු 39.

ඒ වගේ ම මේ තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී හශාන් තිලකරත්න විසින් ලබා ගත්තු ලකුණු 119ත් ඔහුගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිමක් විදිහට සැලකුම් ලබනවා.

ඒ වගේ ම 1995 දී හශාන් තිලකරත්න විසින් පාකිස්තානය සමඟ පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 115ක් ලබා ගන්නේ ඉනිමේ මුල් කඩුලු 4ක් ලකුණු 34කට බිඳ වැටිලා තිබුණු අවස්ථාවක දී. පළමු ටෙස්ට් තරගය පරාජය වෙලා සිටි ශ්‍රී ලංකාවට ඉතිරි ටෙස්ට් තරග දෙක ම ජයග්‍රහණය කරලා තරගාවලි ජයග්‍රහණයක් කරා යන්න හශාන් විසින් ලබා දුන් ආරම්භය අමතක කළ නොහැකි එකක් බව එදා ඒ තරග උණුසුම අත් විඳපු ක්‍රිකට් රසිකයින් විශ්වාස කරනවා.

සංගාගේ පරිච්ඡේදය

කුමාර් සංගක්කාර ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශකථාව ඇතුළේ කරපු කියපු දේවල් පොතක් පිරෙන්න ලියන්න පුළුවන්. ද්විත්ව ශතක ම 11ක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගත්තු සංගාගේ ඉනිම් කීයක් කියලා ඔබේ මතකයට ඒවි ද?

අපි සංගාගේ ද්විත්ව ශතක 11ම පැත්තකින් තියලා ඔහුට 2007 වසරේ දී දුර්වල විනිසුරු තීරණයක් නිසා අවාසනාවන්ත විදිහට අහිමි වුනු ද්විත්ව ශතකයෙන් සංගාගේ ඉනිම් ගැන මතකය අවධි කරන්න පටන් ගමු!

ඕස්ට්‍රේලියාවට එරෙහි ව ඕස්ට්‍රේලියාවේ දී ජයක් සොයා ගිය සංගා

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න ලැබුණු ආසන්නතම අවස්ථාව 2007 වසරේ දී මග හැරෙන්නේ ලකුණු 192ක් ලබා ගෙන සිටි කුමාර් සංගක්කාරට Rudi Koertzen විසින් ලබා දුන්නු දුර්වල විනිසුරු තීරණයක් නිසා දැවී යාමට සිදුවීමෙන්. සංගාගේ මේ ඉනිම අදටත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින් ව තරමක් විස්සෝපයට පත් කරවන ඉනිමක්.

ඒ වගේ ම මේ ඉනිමේ ම මාවන් අතපත්තු විසින් ලබා ගත් ලකුණු 80ත් ක්‍රිකට් රසිකයින්ට සෑහෙන්න වටිනා මතකයක්.

2014 දී එංගලන්තයට එරෙහිව තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් පාර කැපීම

 

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ දී ටෙස්ට් තරගාවලියක් ( තරග 2ක් හෝ ඊට වැඩි තරග ගණනකින් සමන්විත) ජයග්‍රහණය කරන්න සමත් වෙන්නේ 2014 වසරේ දී. මේ තරගාවලිය ඉතා ම තියුණු විදිහේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත වුනා.

පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයේ කටට ම ගිහින් අවසාන මොහොතේ දී පරාජය නොවී ඉන්න සමත් වෙනවා. ඒ තරගයේ දී එංගලන්තය සිය පළමු ඉනිමට ලබා ගත්තු ලකුණු 575ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 453ක් රැස් කර ගන්න සමත් වෙනවා.

මේ ඉනිම ශ්‍රී ලංකාවට තරගය ජය පරාජයෙන් තොර ව නිමා කර ගන්නත් විශේෂ හේතුවක් වෙනවා. ඒ වගේ ම ඒ ඉනිමේ දී සංගක්කාර විසින් රැස් කර ගත්තු ලකුණු 147 වගේ ම දෙවැනි ඉනිමේ දී සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී සංගා ලබා ගත්තු ලකුණු 61ත් අමතක කරන්න ම බැරි ඉනිම් දෙකක්.

ඒ වගේ ම මේ තරගාවලියේ දෙවැනි තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් විසින් රැස් කරපු ලකුණු 160 ත්, මැතිව්ස් සමග ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 149ක සබඳතාවක් පවත්වන්න සහය දුන්නු රංගන හේරත්ගේ ඉනිමත් විශේෂයෙන්ම මතක් කළ යුතුයි.

සංගා තනියම අස්ගිරිය හොලවයි!

2005 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරපු තරග සංචාරයේ පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 240ක දැවැන්ත ජයග්‍රහණයක් ළඟා කර ගන්න සමත් වුනා.

මේ තරගයේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී එවකට කණ්ඩායමේ කඩුලු රකින්නා විදිහට ක්‍රීඩා කළ සංගා නොදැවී ලකුණු 157ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 375ක් ලබා ගන්නත් සමත් වුනා. විශේෂත්වය තමයි ඒ තරගයේ ඉනිම හතරෙන් තුනක් ම සංගා තනි ඉනිමක රැස් කළ ලකුණු 157ටත් වඩා අඩු ඒවා වීම. ඒ වගේ ම සමස්ත තරගයේ ම සංගාට පසුව ක්‍රීඩකයෙක් ලැබූ ඉහළ ම ලකුණ වුනේ තිලකරත්න ඩිල්ශාන් ගේ ලකුණු 49 වීම.

සනත්ගේ ද්විත්ව ශතක

සනත් ජයසූරිය කියන්නෙ ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන් ම දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයෙක්. ඒ අතරින් සනත් ශ්‍රී ලංකාවට අවශ්‍යව ම තිබූ මොහොතවල් දෙකක දී ලබා ගත්තු ද්විත්ව ශතක දෙකක් පහතින් දැක්වෙනවා.

2004 වසරේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වුණු ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 201ක දැවැන්ත ජයග්‍රහණයක් කරා රැගෙන යන්න සමත් වෙන්නේ සනත් ජයසූරිය විසින් ලබා ගත්තු ලකුණු 253ක ඉනිම.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සනත් ලකුණු 253ක් ලබා ගනිද්දී ඉනිමේ අනෙක් ඉහළ ම ලකුණු ලාභියා බවට පත් වෙන්නේ ලකුණු 59ක් ලබා ගත්තු කුමාර් සංගක්කාර. ඒ වගේ ම මේ ඉනිමේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් සනත් සහ දිල්හාර ප්‍රනාන්දු විසින් ලකුණු 101ක සබඳතාවක් පිහිටුවන්න සමත් වෙනවා. එහි දී දිල්හාරගේ පිත්තෙන් වාර්තා වුනේ එක් ලකුණක් පමණයි.

1998 දී ශ්‍රී ලංකාවට එංගලන්තයේ දී පළමු වරට ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න මූලික ම හේතුව වුනේ මුත්තයියා මුරලිදරන්ගේ විශිෂ්ට පන්දු යැවීම. නමුත් එහි දී එම ජයග්‍රහණය වෙනුවෙන් අඩිතාලම සකස් කරලා දුන්නු සනත් ජයසූරියගේ ලකුණු 213ත් අමතක නොකළ යුතු ඉනිමක්.

විශේෂත්වය වෙන්නේ සනත් දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිමේ සටහන් වෙලා තිබුණු 328න් 213ක් ම ඔහුගේ පිත්තෙන් වාර්තා වී තිබීම.

මීට අමතරව සනත් විසින් 1996 ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී දී ලබා ගත්තු ලකුණු 112ත් අමතක කරන්න ම බැරි ඉනිමක්.

අර්ජුන තනි අතින් ක්‍රිකට් ගසයි

අවුරුදු ගණනක් පරණ ලකුණු සටහන් බලලා ක්‍රීඩකයින් ව විවේචනය කිරීම මොන තරම් අසාධාරණ ද කියලා හිතෙන්නේ 2000 වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළවෙනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී අර්ජුන රණතුංග විසින් ලබා ගත්තු ලකුණු 29 දකිද්දියි.

එදා ශ්‍රී ලංකාවට අවශ්‍යව ම තිබුණු මොහොතක තුවාල වුනු එක අතකුත් පරෙස්සම් කරන ගමන් අර්ජුන ලබා ගත්තු ලකුණු 29ට වටිනාකමක් නියම කරන්න බැරි තරම් වටිනවා.

ඒ තරගය කඩුලු 2ක් අතැතිව ජයග්‍රහණය කරන්න හේතුව වුනේ අර්ජුනගේ ඒ ලකුණු 29.

ඒ වගේ ම අර්ජුන රණතුංග කියන්නේ අඩු ඇගයීමට භාජනය වුන ඉනිම් ගණනක අයිති කාරයෙක්.

ඒ අතරින් 1993 වසරේ දී දකුණු අප්‍රිකාව සමඟ මොරටුවේ දී පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී අර්ජුන විසින් ලබා ගත්තු ලකුණු 131 සහ 1998 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයේ දී අර්ජුන සහ අරවින්ද විසින් එක් වෙලා ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පවත්වපු ලකුණු 189ක නොබිඳුණු සබඳතාවත් සඳහන් කළ යුතු ම විදිහේ ඒවා.

එහි දී අර්ජුන විසින් නොදැවුණු ලකුණු 87ක් සහ අරවින්ද විසින් නොදැවුණු ලකුණු 143ක් වාර්තා කරන්න සමත් වෙනවා.

කළුගේ මංගල ශතකය

1992 දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේ දී රොමේෂ් කළුවිතාරණ ටෙස්ට් වරම් දිනා ගන්න සමත් වෙනවා. මෙහි දී ඔහු විසින් දියත් කරන මංගල ඉනිමේ දී  හතරේ පහර 26ක් සමඟින් ලකුණු 132ක් ලබා ගන්න සමත් වුනා. නමුත් අවාසනාවන්ත විදිහට ශ්‍රී ලංකාව මේ තරගය පරාජය වුනා.

ලිපිය තරමක් දිග වැඩි වෙන නිසාම තවත් ඉනිම කිහිපයක් පිළිබඳ කෙටි සටහන් කිහිපයක් සමඟින් මේ ලියමන අවසන් කරන්න සිදු වෙනවා.

මාවන් අතපත්තු – 2001 වසරේ එංගලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 201.

දිනේශ් චන්දිමාල් – 2015 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලබා ගත් ප්‍රහාරාත්මක ලකුණු 162.

දිමුත් කරුණාරත්න – 2022 වසරේ ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී තරගයේ සිව් වන ඉනිමේ ලබා ගත් ලකුණු 107.

ධනංජය ද සිල්වා – 2017 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වුණු තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී තරගය ජය පරාජයෙන් තොර ව අවසන් කර ගැනීම වෙනුවෙන් ලබා ගත් ලකුණු 119.

රසල් ආර්නෝල්ඩ් – 2002 වසරේ දී එංගලන්තයේ මැන්චෙස්ටර් හී පැවැත්වුණු ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරා ගැනීම වෙනුවෙන් ලකුණු 109ක් රැස් කරන්න සමත් වෙනවා.

ඒ වගේ ම මේ තරගාවලියේ දී මහේල සහ මාවන් විසිනුත් ඉහළ පිතිකරණ දක්ෂතා පෙන්වන්න සමත් වෙනවා.

මේ ලිපියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ අඩු ඇගයීම් ලත් විශිෂ්ට ඉනිම කිහිපයක් ම කතාබහට ලක් කරන්න උත්සාහ කළා වගේ ම මීළඟ ලිපියෙන් මේ විදිහේ ම පන්දු යැවීමේ දක්ෂතා කිහිපයක් පිළිබඳවත් අවධානය යොමු කරමු.

සමහර විට මේ දක්ෂතා තරගයක ජයග්‍රහණයක් ළඟා කරවන්න සමත් ඒවා වගේ ම තවත් වෙලාවක මෙම දක්ෂතා කණ්ඩායමක ගෞරවය බේරා ගැනීම වෙනුවෙන් ප්‍රදර්ශනය කළ දක්ෂතා විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

ටෙස්ට් තරග 100ක් ජයග්‍රහණය කළ ඉතිහාසයක් ගැන දැන් ශ්‍රී ලංකාවට කතා කරන්න පුළුවන්. ඒ ලැබුණු අවස්ථාවෙන් මේ වගේ දක්ෂතා පිළිබඳවත් සඳහනක් කිරීම අතිශයින්ම වටිනවා.

තොරතුරු ලබා දීමට දායකත්වය – කාංචන පිටිගල

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<