“මම ටෙනිස් ගහද්දී මට කිව්වේ ‘මැක්’ කියලා” – සචින් ටෙන්ඩුල්කාර්

239
Sachin Tendulkar
Courtesy – Getty Images

පිතිකරුවෙකු ලෙස ඔහු තරම් ළාබාල වියක දී ලොව ප්‍රබලම පන්දු යවන්නන්ට එරෙහිව දස්කම් දැක්වූ වෙනත් පිතිකරුවෙකු නැත. ඔහු Sachin Tendulkar (සචින් ටෙන්ඩුල්කාර්) ය. ඉන්දියානුවන්ට අනුව “ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියා”ය.

අප්‍රේල් 24 යනු සචින් ටෙන්ඩුල්කාර්ගේ උපන් දිනයයි. ජාත්‍යන්තර ශතක ශතකයක එකම හිමිකරුවා වන ඔහුගේ වයස අර්ධ ශතකය සපිරෙන්නේ අද දිනයේ දීයි. කුඩා කල ටෙනිස් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ සචින්ගේ සුරතල් නම වූයේ “මැක්”ය. එනම් ඇමරිකානු ටෙනිස් ක්‍රීඩක John McEnroe (ජෝන් මැකින්රෝ) ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා වූ බැවිනි.

මැකින්රෝගේ හැසිරීම මාව පිස්සුවට පත්කළා. මගේ කොලනියම හිටියේ බෝග්ගේ (Björn Borg) පැත්තේ. මැකින්රෝට සහාය දක්වපු එකම කෙනා මමයි. තිස්-හතලිස් දෙනෙක් එකතු වෙලා තරග නරඹද්දී හැමෝම බෝග්ට සහාය දැක්වුවා. මැකින්රෝට හිටියේ මම විතරයි. ඔහුගේ මාර උපන් හැකියාව, විශ්වාස කරන්න අමාරු කෝණයන් මම වින්දා. මම ඔලුවට පටියකුත් දාගෙන මං හිටපු ගොඩනැගිල්ලේ පහළ ටෙනිස් ගැහුවා, කවුරුහරි මට මැකින්රෝ කියලා කතා කරයි කියලා බලාපොරොත්තුවෙන්. මම ටෙනිස් ගහද්දී මගේ සුරතල් නම වුනේ ‘මැක්’. මට තවමත් ඔහුව හමුවෙලා නැහැ”, ටෙන්ඩුල්කාර් Indian Express වෙත සඳහන් කොට තිබුණි.

ජෝන් මැකින්රෝ
ජෝන් මැකින්රෝ (Courtesy – The New York Times)

ඔහුගේ බිරිඳ වූයේ අංජලී ටෙන්ඩුල්කාර් ය. ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ දිනයට පෙර සචින් ඇගෙන් ඉල්ලීමක් කළේය.

මුද්ද නැතිවෙන්න පුළුවන් හින්දා මට මුද්දක් වෙනුවට කදාවක් (කදා වළල්ලක්) දෙන්න කියලා මම අංජලීට කිව්වා. ඒ විදියට, මට ක්‍රිකට් ගහන වෙලාවටවත් ඒක ගලවන්නේ නැතිව ඉන්න පුළුවන් වුනා”, ඔහු පැවසුවේය. ඔහුගේ පිතිකරණය සමීපව නරඹා ඇත්නම්, ඔහු වරින් වර තම මැණික් කටුව ආසන්නයේ තිබූ කදා වළල්ල සකස් කරගන්නා අයුරු ඔබට මතක ඇතුවාට සැකයක් නැත.

1989 දී ජාත්‍යන්තර ක්‍රිකට් වලට පා තබා නොයෙකුත් පිතිකරණ වාර්තා බිඳ දැමුව ද, ඔහුට ලෝක කුසලාන පහස ලැබුණේ 2011 දී ය. එදා ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව අවසන් මහා තරගය ජය ගත්තේ ටෙන්ඩුල්කාර්ගේ 20 වසරකට අධික සිහිනයක් සැබෑ කරමිනි.

“2011 ලෝක කුසලාන හොඳම මතකය තමයි, 2007 දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කල් ඉකුත් වූ ක්‍රීඩකයන් කියලා හැඳින්වුනා. ඒකට විවිධ හේතු තිබුණා. මට ඒවා ගැන කතා කරන්න ඕන නෑ. ඒත් හොඳම කොටස තමයි, ඒ කල් ඉකුත් වුණු ක්‍රීඩකයන් තමයි ලෝක කුසලාන දිනුවේ. කණ්ඩායමෙන් 80%ක් ඒ ක්‍රීඩකයන්මයි,” සචින් සිහි කළේය. 2007 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී තරගාවලියෙන් ඉවත් වූ ඉන්දියාව ඉන් වසර හතරක දී ලෝක කුසලාන තමන් සතුකර ගත්තේය.

සචින් පිටියට පිවිසි පසු සියල්ල බරපතළව ගත් ක්‍රීඩකයෙකි. පිටිය තුළ ඔහුට මිතුරන් නැත. සිටියේ ප්‍රතිවාදීන් පමණි. සෑමවිටම දස්කම් අතරට පැමිණීමට ඔහුට ඉවහල් වන්නට ඇත්තේ ද ඒ මානසිකත්වයයි. දීර්ඝ ක්‍රිකට් දිවියක අවස්ථා රැසක දී ප්‍රතිවාදීන් හා වදනින් ගැටී ඇති සචින්, දකුණු අප්‍රිකානු වේගපන්දු දැවැන්තයෙකු වූ Allan Donald (ඇලන් ඩොනල්ඩ්) හා ඇතිවූ බහින් බස්වීමක් ගැන සිහිකළේ මේ අයුරිනි.

ඔහු ආක්‍රමණශීලී පන්දු යවන්නෙක්. මම ප්‍රහාරක පිතිකරුවෙක්. ඇලන් තවමත් මගේ හොඳ මිතුරෙක්. එකපාරක් මට මතකයි, Dodda Ganesh (ඩොඩ්ඩා ගනේෂ්) පන්දුවට පහර දෙන්න එනකොට ඇලන් කිව්වා, ‘මම උඹේ ඇඟට බෝල් කරනවා’ කියලා. මම මැදට පැනලා කිව්වා, ‘ඩොඩ්ඩාට මම කියන දේවල් තේරෙන්නෙත් නෑ. ඒ හින්දා උඹ කියන දේවල් තේරෙන්න විදිහකුත් නෑ. උඹ බෝල් කරන එක ගැන බලාගනිං’ කියලා. අපි ’90 දශකයේ ඉඳන් යාළුවෝ.”

ඇලන් ඩොනල්ඩ්
ඇලන් ඩොනල්ඩ් (Courtesy – Getty Images)

සචින්ගේ පුත් අර්ජුන් ටෙන්ඩුල්කාර් මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නෙකි. දියණිය සාරා ටෙන්ඩුල්කාර් 25 හැවිරිදි තරුණියකි. ඔවුන් ගැන ද සචින්ට මතක රැසක් ඇත.

අර්ජුන් පොඩි කාලේ කෑවේම පරිප්පුයි බතුයි අලයි විතරයි. සාරා ඊට හාත්පසින්ම වෙනස්. අංජලී කුකර් එකක් අරගෙන ඇවිත් හැම හවසකම ඔහුට උයනවා. ඔහු හැමදාම ඒවා කනවා, ඉන්පස්සේ අපි රෑ කෑමට එළියට යනවා. දැන් නම් ඇත්ත වශයෙන්ම ඔහු වෙනස් වෙලා. සාරා නම් ඕන දෙයක් කනවා. මට කනගාටු ඔවුන්ගේ ළමා කාලයෙන් ගොඩක් මට අත හැරුණු එක ගැන. දැන් මම නිදහස්, එයාලා නිදහස් නෑ,” වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පෞද්ගලික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වන අභියෝග රැසකි. ඒ සියල්ල ඉවසූ සචින් සිය රට වෙනුවෙන් 100%ක්ම කැපවිය.

සචින් ටෙන්ඩුල්කාර් නම් දැවැන්ත ක්‍රිකට් පෞරුෂය බිහිවීමට මූලික හේතුවක් වුනේ ඔහුගේ සහජ හැකියාවට එක්වූ නිති පුහුණුවයි. වයස අවුරුදු 16 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස, වසර 24කට වඩා එහි රැඳී සිට, සියලු රටවල්වල දී දස්කම් පෙන්වා, එහි “පිතිකරණ දෙවියා” වෙමින් වැජඹුණු සචින් මේ වන විටත් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේම ජනප්‍රිය චරිතයකි.

අද දින ජීවන අර්ධ ශතකයට පා තබන සචින් හට දීර්ඝායු පතන මේ මොහොතේ, ඔහුගේ මුවින් පිටවූ රුවන් වැකියකින් ලියමන අවසන් කරමි.

වෙනස් කාලයන් අතර වේවා, ක්‍රීඩකයන් අතර වේවා, පුහුණුකරුවන් අතර වේවා, මම කවදාවත් සැසඳීම් ගැන විශ්වාස කළේ නැහැ.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<