දුර්වල විනිසුරු තීරණවලින් පකිස්තාන ජයග්‍රහණයට වැට බැදෙයි

Pakistan vs England Test series 2022

2850

ඊයේ (12) අවසන් වූ පකිස්තාන – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ පාකිස්තාන දෙවැනි ඉනිමේ ලකුණු 94ක් ලබා සිටි Saud Shakeelගේ දැවී යාම පිළිබඳ ලබා දුන් විනිසුරු තීරණය මතභේදයට තුඩු දී තිබෙනවා.

ඊයේ (තරගයේ සිව්වැනි දිනය) අවසන් වූ එම තරගයෙන් ලකුණු 26ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වූ අතර, එහි දී Mark Wood විසින් යැවූ පන්දුවක් Saud Shakeelගේ පිත්තේ අග වැදී එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක Ollie Pope අතට ඇදී ගිය අතර, ඔහු එය රැක සාර්ථක ලෙස රැක ගත්තා ද, නැද්ද යන කරුණ මතභේදයට තුඩු දුන් එකක් වුනා.

එහි දී පිටියේ විනිසුරුවරුන් විසින් එය දැවී ගියා යැයි සලකා තරගයේ තෙවැනි විනිසුරුට Soft signal එකක් ලබා දුන් අතර, තෙවැනි විනිසුරු Joel Wilson විසින් එය දැවී යාමක් ලෙස නිල වශයෙන් තීරණය කළා.

Saud Shakeel ලකුණු 94ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වන විට පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 291ක කට කඩුලු 7ක් ලෙස දිස් වූ අතර, ඔවුන්ට තරගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වුනේ තවත් ලකුණු 64ක් පමණයි. ඒ අනුව මෙම මතභේදකාරී දැවී යාම තරගයේ තීරණයට දැඩි බලපෑමක් එල්ල කළ බව නොරහසක්.

Shakeel විසින් එල්ල කළ පුල් පහර හරි හැටි පිත්තේ නො වැදී Pope අතට ඇදී ගිය අතර, Pope විසින් එය බිම ගෑවී නො ගෑවී යන මට්ටමෙන් රැක ගත්තා.

මෙහි දී පිටියේ විනිසුරුවරුන් ලබා දුන් soft signal එක දැවී යාමක් වීමත්, Joel Wilsonව මෙම තීරණයට පෙලඹවීමට හේතුවක් වුනා.

එහි දී රූපවාහිනී විස්තර විචාරයේ යෙදී සිටි හිටපු එංගලන්ත නායක Mike Atherton පවා පැවසුවේ පන්දුව බිම වදිනා බවයි.

“ඔබට විවාද කරන්න පුළුවන් පන්දුව අත් ආවරණයේ රැඳිලා තිබුණා කියලා, නමුත් අනිවාර්යයෙන් ම පන්දුවට යටින් නම් අත් ආවරණය තිබුණේ නැහැ. පන්දුවේ කොටසක් තණකොළ වල ගෑවුනා.”

Mike Atherton එසේ සිය අදහස් ප්‍රකාශ කරන අතරේ බොහෝ ක්‍රිකට් රසිකයින් මෙන්ම ඉන්දීය කඩුලු රකින පිති කරු Dinesh Karthik ඇතුළු සමහර ක්‍රීඩකයිනුත් එම තීරණයට සිය අප්‍රසාදය පළ කළා.

Saud Shakeelගේ දැවී යාමෙන් පසුවත් පාකිස්තාන පසුපෙළ ක්‍රීඩකයින් විසින් තරගය ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට සාධනීය උත්සාහයක් ගත් නමුත් එය එංගලන්ත වේගපන්දුව හමුවේ ව්‍යර්ථ වුනා.

ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලියේ මුල් තරග දෙකම ජයග්‍රහණය කළ එංගලන්තය තරගාවලිය මේ වන විටත් ජයග්‍රහණය කර ඇති අතර,  ඉතිරිව ඇති තරගය මෙම මස 17 වැනිදා ආරම්භ වනු ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දින අලුත් වන තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<