පන්දුව පළුදු කිරීම ගැන Warnerට පසුතැවීමක් නැහැ!

297

2018 වර්ෂයේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ පන්දුව පළුදු කිරීමෙ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පසුතැවීමක් නොමැති බව David Warner විසින් පවසනවා.

දක්ෂ වමත් පිතිකරුවෙකු ලෙස විශාල කීර්තියක් උපයා ගෙන ඇති ඕස්ට්‍රේලියානු පිතිකරු David Warner හට 2018 වසරේ පන්දුව පළුදු කිරීමට (sandpaper-gate නමින් අතිශය ප්‍රසිද්ධියක් ලබා ගත් සිදු වීම) වැරදිකරු වී වසරක ක්‍රිකට් තරග තහනමක් මෙන්ම, ජීවිතාන්තය දක්වා නායකත්ව තහනමක් ද තීන්දු වුනා.

නමුත් තහනමෙන් පසුව නැවත ක්‍රීඩා පිටියට පිවිසි Warner විසින් තමන්ට හුරු පුරුදු පිති ප්‍රහාරය දියත් කරමින් නැවතත් ප්‍රේක්ෂකයින්ව කුල්මත් කිරීමට සමත් වුනා.

මෑතක දී මාධ්‍ය හමුවක් සඳහා සම්බන්ධ වූ David Warnerගෙන් පසුගිය සිදුවීම් පිළිබඳ පසුතැවිලි වනවා ද යනුවෙන් විමසූ විට, ඔහු තරමක් අපැහැදිලි පිළිතුරක් ලබා දෙමින් පවසා සිටියේ, කිසිවකුත් සර්ව සම්පූර්ණ නොවන බව සහ තම ජීවිතයේ සිදු වූ කිසිම දෙයක් ගැන තමන් පසුතැවිලි නොවන බවයි.

“මම කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්නේ නැහැ, ඔබ ඔබේ ම පාරක් හදා ගන්නවා නේ?

කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ, ඒ වගේම ඔබ සර්ව සම්පූර්ණ වෙනකම් ඔබට බැහැ වෙන කවුරුවත් ගැන විනිශ්චය කරන්නත්.

ඔබට හැමෝවම සතුටු කරන්න පුළුවන් රොබෝ මිනිසෙකු වෙන්න උත්සාහ කරන්න පුළුවන් නමුත්, ඒක වැඩ කරන්නේ නැහැ. මොකද ඔබට බැහැ හැමදෙනෙක්ව ම සතුටු කරවන්න.

මගේ අතීතයේ මොන දේවල් සිදු වුනත් ඒ මගින් දැනට මම මේ ඉන්න පුද්ගලයා බවට පත් කරලා තියෙනවා, ඒ වගේම මම දැන් මේ ඉන්න තැනට ගෙනත් තියෙනවා.”

තවදුරටත් ඒ පිළිබඳ ව අදහස් දක්වමින් තමන්ගේ ක්‍රීඩා ජීවිතය පිළිබඳ සතුටු වන බවත්, අතීතයේ කිසිම දෙයක් වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවත් Warner පවසා සිටියා.

“මම විශ්වාස කරන, නිතරම උපදෙස් පතන පොඩි ම පොඩි පිරිසක් මැද තමයි මම ඉන්නේ.

මම අතීතයට ගිහින් දේවල් වෙනස් කළොත් දැන් ඉන්න මම සහ මට ලැබිලා තියෙන වටිනාකම වෙනස් වෙනවා.

මට කිසිම පසු තැවීමක් නැහැ, ඒ වගේම මම මේ මොහොතේ ඉන්න තැන ගැන මම සතුටු වෙනවා.”

එමෙන්ම එහි දී සිය ක්‍රිකට් තහනම පිළිබඳ මතකය අවදි කළ Warner කියා සිටියේ, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන්ගෙන් එම වසරක කාලය තුල තමන්ට කිසිම සහයක් නොලැබුණු බවත්, තමන්ව රෙදි සෝදන යන්ත්‍රයක් මෙන් භාවිත කළ බවයි.

“මගේ ළඟින් හිටිය අය මං ගැන හොයලා බැලුවා, ඒත් කිසිම බලධාරියෙක් ඒ අතර හිටියේ නැහැ. ඒ කාලේ එහෙම තමයි ඔබ රෙදි සෝදන යන්ත්‍රයක් වගේ.

නමුත් දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා George Bailey සහ Andrew McDonald හොඳින් වැඩ කරනවා.

ඔවුන් ඇත්තටම ක්‍රීඩකයින්ට සහය දක්වාවි කියලා අපේක්ෂා කරන්න පුළුවන්.”

Warner විසින් තමන්ට ලැබුණු නායකත්ව තහනම ඉවත් කරන මෙන් ඉල්ලීමක් ද මීට පෙර සිදු කළ අතර, පසුව ඔහු විසින් ම එය ඉල්ලා අස්කර ගත්තා.

එහි දී ද ඔහු පවසා සිටියේ, තම පවුලේ සාමාජිකයින් කාගේවත් කුණු හෝදා හරින රෙදි සෝදන යන්ත්‍රයක් ලෙස පාවිච්චි වීමට ඉඩ නො තබන බවයි.

දිනෙන් දින නැවුම් වන ක්‍රිකට් පිටියේ තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapar.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<