පන්දුව පළුදු කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිලධාරි සහයත් ලැබුණා ලු!

3379
Ball tempering was approved by CA officials claims

මීට වසර හතරකට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව වැලි කඩදාසියක් භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ සිදුවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හී (CA – Cricket Australia ) ඉහළ නිලධාරීන් දෙදෙනෙකුගේ අනුබලය ලැබුණු බව David Warnerගේ කළමනාකරු වන James Erskine විසින් හෙළිදරව් කර තිබෙනවා.

2018 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම කේප් ටවුන් හී ක්‍රීඩා කළ තරගයේ දී මෙම පන්දුව පළුදු කිරීමේ සිදුවීම වාර්තා වූ අතර, Erskine විසින් හෙළිදරව් කරන ආකාරයට ඊට වසරකටත් වඩා වැඩි කාලයකට ඉහත දීම එලෙස පන්දුව පළුදු කිරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ අනුබලය ලැබී තිබෙනවා.

ඔහු පවසන ආකාරයට 2016 දී ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර හෝබට් හීදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක් අතරතුර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙක් විසින් ක්‍රීඩකයින්ට එය (පන්දුව පළුදු කිරීම) කර ගෙන යන ලෙස පවසා තිබෙනවා.

“හෝබට් ක්‍රීඩාගාරය තුල ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙක් විසින් හෝබට් ටෙස්ට් තරගය පරාජය වීම ගැන ක්‍රීඩකයින්ට දොස් නගමින් හිටියා.

Warner කිව්වා ‘අපි පන්දුව ප්‍රතිදෝලනය කළ යුතුයි, අපට පන්දුව ප්‍රතිදෝලනය කරන්න පුළුවන් එකම විදිහ පන්දුව පළුදු කිරීමයි.’ කියලා. එතකොට ඔවුන් (නිලධාරීන්) කිව්වා ඒක කරන්න කියලා.”

2016 වසරේ දී පැවැත්වුණු හෝබට් තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිම දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 85කට සීමා වූ අතර, තරගය පරාජය වීමට ද ඔවුන්ට සිදු වුනා. (එම තරගය අවසානයේ එවකට දකුණු අප්‍රිකානු නායක Faf du Plessis විසින් පන්දුව පළුදු කර ඇති බවත් හෙළිදරව් වුනා.)

මෙහි දී Erskine විසින් එම විධායක නිලධාරීන් පිළිබඳ පැහැදිලිව පවසා නැති අතර, ඔහු පවසන්නේ Warner විසින් තවමත් එම ඉහළ නිලධාරීන් ආරක්ෂා කරන බවයි.

“ඔහු කට වහගෙන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ආරක්ෂා කරනවා, ඔහු ඔහුගේ කණ්ඩායම් සගයින් ආරක්ෂා කරනවා. මොකද තව දුරටත් කිසිම කෙනෙකුට මේ දේවල් ගැන තවත් අහන්න අවශ්‍ය නැති නිසා.”

Erskine සිය ක්‍රීඩකයා පිළිබඳ එසේ පවසමින් තව දුරටත් සඳහන් කළේ “වැලි කඩදාසි සිදුවීම” විශාල මට්ටමේ අයුක්ති සහගත සිදු වීමක් බවත්, එහි දී Warnerට ඉතා දුෂ්ට ලෙස සැලකූ බවත් සහ මෙම සිදුවීමට පුද්ගලයින් තිදෙනෙකුට වඩා සම්බන්ධ බවත් ය.

2018 දී ක්‍රිකට් ලෝකය පුරා වැඩියෙන් ම කතාබහට ලක් වූ සිදුවීමක් වන මෙම පන්දුව පළුදු කිරීමේ සිදු වීම නිසා එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයාව සිටි Steve Smith සහ David Warner දෙදෙනාට වසරක තරග තහනමක් සහ Cameron Bancroft හට මාස 9ක තරග තහනමක් ද හිමි වුනා. ඊට අමතරව David Warner හට ජීවිතාන්තය තෙක් නායකත්ව තහනමක් ද පැනවූවා.

Erskineගේ මෙම ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් තවමත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මගින් කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නොමැති අතර, එම සිදුවීම නිසා එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුකරු ලෙස කටයුතු කළ Darren Lehmann කිසිම චෝදනාවක් එල්ල නොවීම වුවත් සිය ධුරයෙන් ඉවත්ව ගියා.

මේ අතර පසුගිය දා සිය නායකත්ව තහනම ඉවත් කරන මෙන් Warner විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, පසුව තම පවුල ඕස්ට්‍රේලියානු ක්‍රිකට්වල කුණු රෙදි හෝදන යන්ත්‍රයක් නොවන බව පවසමින් ඔහු විසින් ම එම ඉල්ලීම ඉවත් කර ගත්තා.

හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke විසින් ද මෙම සිදු වීමේ දී Warnerට සහය පල කරමින් පවසා සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ද්විත්ව ප්‍රමිතීන් අනූව කටයුතු කර ඇති බවත්, Warnerට නායකත්ව තහනමක් පනවමින් ඔහු එම සිදුවීමේ ” බිල්ල ” ලෙස පාවිච්චි කළ බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දින අලුත් වන නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

The Indian Express ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<