මධුරංග සොයිසාගෙන් ද්විත්ව ශතකයක්

321

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 4ක් අද (06) ආරම්භ විය. එහිදී ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ මධුරංග සොයිසාගේ සුපිරි ඉනිම සියල්ලන්ගේම අවධානයට පාත්‍ර විය. එසේම විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයේ තිලිණ හේරත් ඉනිමක කඩුලු 7ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

පසුගිය ලිපි: අශාන් ප්‍රියන්ජන්ගේ ශතකය නිසා CCC කණ්ඩායමට සුපිරි ආරම්භයක්

ලංකන් ක්‍රිකට් සමාජය සහ කළුතර නගර සමාජය අතර තරගය

අද උදෑසන කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලංකන් ක්‍රිකට් සමාජය පනාගොඩ ක්‍රීඩාංගණයට අඳුර ගලාඑන සවස් යාමය වනවිට තරගයේ වාසිය මුළුමනින්ම තමන් වෙතට නතු කරගන්නට සමත් විය. ඔවුන් දිනය නිමාවන විට කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 446කි.

ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් අද දිනයේදී ද්විත්ව ශතක ලාභියෙකු, ශතක ලාභියෙකු සහ අර්ධ ශතක ලාභියෙකු බිහි විය. හතරේ පහර 13ක් සහ හයේ පහර 9ක් සමගින් ලකුණු 203ක් වාර්තා කළ දකුණත් තුන් ඉරියව් ක්‍රීඩක මධුරංග සොයිසා අද ලකුණු 203ක් වාර්තා කළේ දේශීය ක්‍රිකට් පිටියේ අද දිනය තමාගේ නමින් ලියා ගනිමිනි. ඔහු හා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු ලකුණු 222ක දැවැන්ත සබඳතාවයක් එක්කල ලාල් කුමාර් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 107ක් රැස් කිරීමට සමත් විය.

ලංකන් ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 446 (පන්දුවාර 91)} මධුරංග සොයිසා 203, ලාල් කුමාර් 107, අනීක් හසන් 56, රශ්මික ද සිල්වා 5/137.


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය අතර තරගය

අද කුරුණෑගල දී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට හිමිවිය. නමුත් ඔවුන්ගේ තීරණය වූයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හිමිකර දීමයි. ඒ අනුව පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී ලකුණු 200ක් ලබා ගැනීමට සමත් විය. ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කියූ බුද්ධික සඳරුවන් හතරේ පහර 9ක් සමගින් ලකුණු 70ක් රැස් කළේය.

සුපිරි පන්දු යැවීමක නිරත වුනු කුරුණෑගල කණ්ඩායමේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක තිලිණ හේරත් ලකුණු 66කට ප්‍රතිවාදී ගුවන් හමුදා ක්‍රීඩකයින් සත් දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ පිතිකරුවන් ප්‍රථම දිනය අවසාන වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 85ක් ලබා සිටියි.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 61.5)} බුද්ධික සඳරුවන් 70, ලහිරු ලක්මාල් 44, තිළිණ හේරත් 7/66, දුමින්ද දසනායක 2/71.

කුරුණෑගල  තරුණ ක්‍රිකට් සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 85 (පන්දුවාර 28)} දර්ශන මහවත්ත 44, කවින්ද පුලුක්කුට්ටිආරච්චි 28*.


පානදුර ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය අතර තරගය

අද පානදුරදී ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පානදුර නායකයාගේ තීරණය වූයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමයි. ඒ අනුව ඉනිම ආරම්භ කල ඔවුන් සාර්ථක පිතිකරණයක යෙදෙමින් ලකුණු 306ක් රැස් කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් හසන්ත ප්‍රනාන්දු හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 84ක් රැස් කළේය. පිලිතුරු ඉනිම වෙනුවෙන් අද සන්ධ්‍යා කාලයේදී පන්දුවාර 5කට මුහුණ දුන් වරාය අධිකාරියේ පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටියි.

පානදුර ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර 83): හසන්ත ප්‍රනාන්දු 84, සංජය චතුරංග 51, නිසල් රන්දික 44, චාමිකර එදිරිසිංහ 5/101, චානක කොමසාරු 3/88.

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 19 (පන්දුවාර 5):


නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරගය

අද වැලිසරදී ආරම්භ වුනු මෙම තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් නාවික හමුදා ක්‍රීඩකයින් සියලු දෙනාම දැවී ලකුණු 258ක් රැස් කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් සමීර සඳමාල් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 79ක් රැස් කරමින් දායකත්වය සපයන ලදී. අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 40 සීමාව ඉක්මවීමට හැකි නොවීය. අගනා පන්දු යැවීමක නිරත වුනු රුමේෂ් සෙල්වරාජ් ලකුණු 58කට කඩුලු 4ක් බිඳ හෙලීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන කළුතර පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබා සිටියි.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 66): සමීර සඳමාල් 79, අශාන් රණසිංහ 37, බුද්ධික හසරංග 33, කුසල් එදිරිසූරිය 33, රුමේෂ් සෙල්වරාජ් 4/58, රසික ප්‍රනාන්දු 2/51.

කළුතර භෞතික සංස්කෘතික සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 69 (පන්දුවාර 21): ක්‍රිෂාන් දිනිඳු 27*.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට