දිමුත්ගේ පිත්ත කතා කරන්න සූදානම් ලු!

Sri Lanka vs Afghanistan 2023

1266
​Dimuth insist that he is not going to chase selectors

අවසන් වරට ශ්‍රී ලංකා ජාතික සීමිත පන්දුවාර කණ්ඩායම නියෝජනය කිරීමෙන් වසර දෙකකට පමණ පසු නැවතත් කණ්ඩායම සමඟ එක් වීමට දිමුත් කරුණාරත්න හට අවස්ථාව හිමි වී තිබෙනවා.

එළඹෙන ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා දිමුත් කරුණාරත්නගේ නම ඇතුළත් කර ඇති අතර, 2019 එක්දින ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය පවා ලබා දුන් කරුණාරත්න එම තරගාවලිය නිමා වී තවත් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමෙන් පසුව කණ්ඩායමෙන් ඉවතට විසි වුනා.

එමෙන්ම මේ වන විට 35 හැවිරිදි වියේ පසු වන දිමුත් පසුගිය දා බංග්ලාදේශයේ Dhaka Premier League ක්‍රිකට් තරගාවලියේ දී Shinepukur ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් නැවතත් තමන් සීමිත පන්දුවාර තරග රටාවෙන් දැක බලා ගත හැකි වෙතැයි ඉඟි ද ලබා දුන්නා.

“මම ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කිහිපයක් ක්‍රීඩා කළා (2019 ලෝක කුසලානයෙන් පසු), ඒ හැරෙන්න ක්‍රීඩා සමාජ තරග වල දී තරග කිහිපයක් ක්‍රීඩා කළා.

මම ගොඩක් ම රතු පන්දුවෙන් (ටෙස්ට් ක්‍රිකට් තරග) තමයි ක්‍රීඩා කළේ. මම ජාතික කණ්ඩායමෙන් ඉවත් කරද්දී ඉතා ම හොඳින් ක්‍රීඩා කරමින් සිටියා. ඒ වෙද්දී මගේ පිතිකරණ සාමාන්‍යය 40ට වඩා වැඩි අගයක තිබුණා. අර්ධ ශතක කිහිපයක් වගේ ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක සබඳතා 7ක් පවත්වන්නත් අපට හැකියාව ලැබුණා.

මම හිතන්නේ කුසල් ජතින් සහ අවිශ්ක ප්‍රනාන්දු සමඟ මම අපේ කොටස කළා කියලා. මම මගේ වගකීම හොඳින් ඉටු කළා. තේරීම් කමිටුව විසින් මගෙන් බලාපොරොත්තු වූ දේ මම සිදු කළා. ඔවුන් මට කිව්වේ 40 වැනි පන්දුවාරය වෙන තෙක් ක්‍රීඩා කරන්න කියලා සහ ඉනිමේ නැංගුරම (Anchor Role) විදිහට ක්‍රීඩා කරන්න සහ මම ඒක කළා.

අලුත් තේරීම් කමිටුව වෙනස් දෙයක් කිව්වා, ඔවුන්ගේ දැක්ම අනුව වෙනස් තැනකට ශ්‍රී ලංකාව රැගෙන එන්න අවශ්‍ය වුනා. අපි ඒකට ගරු කරනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ගෙන ආ නවමු සංකල්පය වූ නිර්භීත ක්‍රිකට් (Fearless Cricket) නිසා කණ්ඩායමේ ස්ථානය අහිමි වූ කරුණාරත්න නැවතත් කණ්ඩායමට කැඳවන්නේ ඔහු සතු අත්දැකීම් ප්‍රමාණය නිසා බව අනුමාන කළ හැකියි.

එමෙන් ම දිමුත් මේ ගැන සඳහන් කරමින් පවසන්නේ අද වන විට බොහෝ ක්‍රිකට් කණ්ඩායම් අනුගමනය කරන්නේ ආක්‍රමණශීලී ක්‍රිකට් තරග රටාවක් වුනත් ශ්‍රී ලංකාවට ඉනිම ඇද ගෙන යා හැකි අන්දමේ පිතිකරුවෙකු අවශ්‍ය බවයි.

“අපේ ක්‍රිකට් සංස්කෘතියේ එංගලන්තයේ වගේ ගොඩක් ක්‍රීඩකයෝ නැහැ. අපට ඉන්නේ සීමිත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක්. නමුත් අපිට හොඳ ශරීර යෝග්‍යතාවක් තියෙනවා. අපට පුළුවන් පන්දු රකින්නන් නැති තැන් හොයා ගනිමින් කඩුලු අතර දිව යමින් ලකුණු ලබා ගන්න. ඒ වගේ ක්‍රීඩකයින් තමයි අපිට අතීතයේ සිටියේ.

මම හිතන්නේ අපිට අවශ්‍යයි දිගු කාලයක් පිතිකරණයේ යෙදෙන්න පුළුවන් පිතිකරුවෙක්. එතකොට අනිත් අයට පුළුවන් ඔහු වටා පිතිකරණයේ යෙදෙන්න. ඒ තමයි අපි ශ්‍රී ලංකා ක්‍රිකට් වල සාර්ථක වුන විදිහ. තරගයක 40 වැනි පන්දුවාරය දක්වා පන්දුවට පහර දිය හැකි පිතිකරුවෙකු අපට අවශ්‍ය බව මම විශ්වාස කරනවා.

මම තේරීම් කමිටුවෙන් ඉල්ලීම් කරන්නේ නැහැ. මම හොඳයි නම් ඔවුන් මාව තෝරා ගනීවී. මම තේරීම් කමිටුව පස්සෙන් ගිහින් කියන්නේ නැහැ මම හොඳයි කියලා. මොකද මම එහෙම කෙනෙක් නෙවෙයි. මට අවශ්‍ය ලකුණු රැස් කරලා මගේ පිත්ත කතා කරන්න සලස්වන්නටයි.”

සිය අනාගත බලාපොරොත්තු පිළිබඳ හෙළිදරව් කරමින් දිමුත් මේ බව පවසා තිබුණා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<