විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය

2 වැනි කොටස ICC Men's T20 World Cup

101

9 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජුනි මස 02 වැනිදා සිට ජුනි මස 29 වැනිදා දක්වා ඇමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් හි දී පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරග මාලා 4ක් පිළිබඳ ව තතු විත්ති අපි මීට පෙර ගෙන ආවෙමු.

මේ එහි දෙවැන්නයි.

5 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2014 මාර්තු 16 සිට අප්‍රේල් 06 දක්වා, බංග්ලාදේශය

මෙතෙක් රටවල් 12ක් පමණක් එකතු වු මෙම තරගාවලිය සඳහා මෙවර රටවල් 16ක් ඇතුලත් කර තිබුණා. ඒ අනුව මෙවර ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් රටවල් 10 තරගාවලියට එක් කර තිබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ රටවල් 16 අතුරින් පළමු ස්ථාන 6 හිමිකර ගත් අයර්ලන්තය, ඇෆ්ගනිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය සහ හොංකොං රාජ්‍යය තරගාවලියට එක් වුනා. මේ අතුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය සහ හොංකොං රාජ්‍යය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක් වූයේ පළමු වරටයි.

තරගාවලිය අදියර 2කින් පැවැති අතර පළමු අදියරේ දී පූර්ණ සාමාජිකත්වයත් රටවල් අතුරින් 9 වැනි 10 වැනි ස්ථානවලට ශ්‍රේණිගත වෙමින් ලැයිස්තු ගත ව තිබූ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමඟ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී එක් වූ කණ්ඩායම් 6 අතර තරගාවලියයි.

පළමු අදියර සඳහා එක් වූ රටවල්

A කාණ්ඩය – බංග්ලාදේශය, නේපාලය, ඇෆ්ගනිස්තානය, හොංකොං

B කාණ්ඩය – නෙදර්ලන්තය, සිම්බාබ්වේ, අයර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය

එම අදියරේ දී බංග්ලාදේශය A කාණ්ඩයෙන් ද සහ නෙදර්ලන්තය B කාණ්ඩයෙන් ද පෙරමුණ ගත් අතර ඒ අනුව 2 වැනි අදියරට ඔවුන් ද එක් කරමින් සුපිරි 10 දෙනාගේ වටයේ තරග ආරම්භ වූවා.

2 වැනි අදියර (සුපිරි 10) සඳහා එක් වූ රටවල්

1 කාණ්ඩය – එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය.

2 කාණ්ඩය – ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය.

තරගාවලිය තරග 35කින් සමන්විත වූ අතර පෙර තරගාවලියේ දී සේ ම, 2 වැනි තරගාවලියේ දී අවසන් මහා තරගය තෙක් පැමිණ ශූරතාව ආසන්නයට ගොස් හැරි ආ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙවර පළමු වරට විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වූවා.

ජයග්‍රාහී එම අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ අසල්වැසි ඉන්දියාවයි. ඔවුන්ට එරෙහි ව කඩුලු 6ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර අවසන් මහා තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ කුමාර් සංගක්කාර තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

  • තරගාවලියේ වීරයා – Virat Kohli (ඉන්දියාව)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – Virat Kohli (319 – ඉන්දියාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්- Imran Tahir (12 – දකුණු අප්‍රිකාව) සහ Ahsan Malik (12 – නෙදර්ලන්තය)

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරගයේ දී නෙදර්ලන්තය ලකුණු 39කට දවා ලූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල ප්‍රතිවාදී කණ්ඩායමක් අඩු ම ලකුණු ප්‍රමාණයකට දවා ගත් කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වූවා.

එමෙන් ම එම ඉලක්කය පන්දු 30ක් පමණක් වැය කර පන්දු 90ක් ඉතිරි කර ගනිමින් කඩුල්ලක් පමණක් අහිමි කර ගෙන සපුරාගත් ශ්‍රී ලංකාව, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම පන්දු ප්‍රමාණයක් ඉතිරි කර ගනිමින් ජයගත් කණ්ඩායම් අතර ද ප්‍රමුඛ තැනට පත් වුනා.

අවසන් මහා තරගයේ දී මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු 24ත් සමඟින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගවල දී ලකුණු 1000ක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට මහේල ජයවර්ධන සමත් වූවා.

දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වය යටතේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අතරමැදි නායකයා ලෙසින් ලසිත් මාලිංග එක් වෙන අතර අවසන් මහා තරගය මෙහෙයවීමේ අවස්ථාව ද මාලිංග සතු වූවා.

එංගලන්තය සමඟ පැවැති තරගයේ දී කාලය ඉක්මවා ගත කිරීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට තරග මුදලින් 20%ක දඩයක් සහ ආසන්නතම තරගය ද අහිමි කළ අතර එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වූයේ ලසිත් මාලිංග වෙතයි.

6 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2016 මාර්තු 08 සිට අප්‍රේල් 03 දක්වා, ඉන්දියාව

මෙවර ද සුපුරුදු ලෙසින් කණ්ඩායම් 16ක් තරගාවලිය සඳහා එක් කර ගැණුනා. ඒ අනුව මෙවර ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් රටවල් 10 තරගාවලියට එක් කර තිබූ අතර අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ රටවල් 14 අතුරින් පළමු ස්ථාන 6ට පත් ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, අයර්ලන්තය, හොංකොං, ඇෆ්ගනිස්තානය සහ පළමු වරට ලෝක කුසලාන වරම් දිනා ගැනීමට ඕමාන් කණ්ඩායම සමත් වූවා.

සුපුරුදු ලෙසින් මෙවර ද තරගාවලිය පැවැත්වෙන්නේ අදියර 2ක් යටතේයි. ඒ අනුව පූර්ණ සාමාජිකත්වය ලත් රටවල් අතුරින් ශ්‍රේණිගත ලැයිස්තුවේ අවසන් ස්ථාන 2ට පත් වූ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ ද මෙම අදියරේ තරගවලට එක් වූවා.

පළමු අදියර සඳහා එක් වූ රටවල්

A කාණ්ඩය – බංග්ලාදේශය, නෙදර්ලන්තය, ඕමාන් සහ අයර්ලන්තය.

B කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය සහ හොංකොං

එම අදියරේ දී මෙවර ද බංග්ලාදේශය A කාණ්ඩයෙන් ඊළඟ වටයට සුදුසුකම්  ලබා ගනිද්දී ඇෆ්ගනිස්තානය B කාණ්ඩයෙන් පෙරමුණ ගන්නවා. ඒ අනුව 2 වැනි අදියරට ඔවුන් ද එක් කරමින් සුපිරි 10 දෙනාගේ වටයේ තරග ආරම්භ වූවා.

2 වැනි අදියර (සුපිරි 10) සඳහා එක් වූ රටවල්

1 කාණ්ඩය – බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය.

2 කාණ්ඩය – නවසීලන්තය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය.

මෙවර ද තරගාවලිය සඳහා තරග 35ක් ඇතුලත් වූ අතර ඒ අතුරින් නැවත වතාවක් ලෝක කුසලානය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් ඊට පෙර 2012 ලෝක කුසලානය දිනා ගත්තා. අනුශූරතාව හිමි වෙන්නේ එංගලන්තයටයි.

  • තරගාවලියේ වීරයා – Virat Kohli (ඉන්දියාව)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – Tamim Iqbal (295 – බංග්ලාදේශය)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්- Mohammad Nabi (12 – ඇෆ්ගනිස්තානය)

මෙම තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව පන්දු 47ක දී ශතකයක් වාර්තා කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Chris Gayle  ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත් ම ශතකය වාර්තා කිරිමේ ගෞරවය මේ දක්වා ම හිමි කර ගන්නවා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් සහභාගී වෙන අතර ඔවුන්ගේ ගමන සහභාගී වූ පළමු වටයෙන් ම අවසන් වෙනවා. ඔවුන්ට මෙම තරගාවලියේ දී සහභාගී වූ තරග අතරින් ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ ඇෆ්ගනිස්තානය හා සමඟ තරගය පමණයි.

7 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2021 ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 14 දක්වා, ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය

ලෝකයක් වෙලාගත් කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක කුසලාන තරග මාලාවේ 7 වැනි වෙළුම 2021 වසර දක්වා කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදු වූවා. කෙසේ වෙතත් මෙම තරගාවලිය සුවිශේෂී සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන යටතේයි සංවිධානය වෙන්නේ.

තරගාවලියේ සත්කාරකත්වය පළමු වරට රටවල් 2ක් අතරේ බෙදී ගිය අතර පළමු අදියරේ තරග ඕමානයේ ද සහ අවසන් අදියරේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද පැවැතියා. තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නොලත් රටවල දී පැවැති පළමු අවස්ථාව ද මෙයයි.

මෙවර තරගාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී පළමු කණ්ඩායම් 8ට ශ්‍රේණිගත කණ්ඩායම් සෘජුව ම තරගාවලියට එක් කර ගත් අතර ඊට පසු ස්ථාන හිමි වූ ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වෙමින් පළමු ස්ථාන 6 දිනා ගත් කණ්ඩායම් සමඟ පැවැත්වෙන අදියරේ තරගවලට සහභාගී වීමට සිදු වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති එම තරගාවලියට රටවල් 14ක් සහභාගී වූ අතර එහි දී නෙදර්ලන්තය, පැපුවා නිව් ගිනියාව, අයර්ලන්තය, නැමීබියාව, ස්කොට්ලන්තය සහ ඕමානය පිළිවෙලින් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා. එම රටවල් අතුරින් පැපුවා නිව් ගිනියාව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක් වූයේ පළමු වරටයි.

පළමු වටය සඳහා එක් වූ රටවල්

A කාණ්ඩය – ශ්‍රී ලංකාව, නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය.

B කාණ්ඩය – ස්කොට්ලන්තය, බංග්ලාදේශය, ඕමානය සහ පැපුවා නිව් ගිනියාව.

මෙම වටයේ දී කාණ්ඩවල පළමු ස්ථාන ද්විත්වයට පත් කණ්ඩායම් සුපිරි 12 දෙනාගේ වටය නියෝජනය කිරීමට තෝරා ගත් අතර ඒ අනුව A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ නැමීබියාව ද B කාණ්ඩයෙන් ස්කොට්ලන්ය සහ බංග්ලාදේශය ඊට සුදුසුකම් ලබා ගත්තා.

සුපිරි 12 දෙනාගේ වටය සඳහා එක් වූ රටවල්

1 කාණ්ඩය – එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය.

2 කාණ්ඩය – පාකිස්තානය, නවසීලන්තය, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, නැමීබියාව සහ ස්කොට්ලන්තය.

මෙවර ද සුපුරුදු ලෙසින් ම තරගාවලිය තරග 45කින් සමන්විත වූ අතර අවසන් මහා තරගය සඳහා ප්‍රථම වරට නවසීලන්තය ද 2010 වසරේ දී අවසන් මහා තරගයට එක් වෙමින් අනුශූරතාව දිනා ගත් ඔස්ට්‍රේලියාව ද සුදුසුකම් ලබා ගත්තා.

දෙරට අතර පැවැති අවසන් මහා තරගයේ දී කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නා ඔස්ට්‍රේලියානුවෝ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල තරගාවලි ජයග්‍රහණය ලබා ගත්තා.

  • තරගාවලියේ වීරයා – David Warner (ඔස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – Babar Azam (303 – පාකිස්තානය)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්- වනිඳු හසරංග (16 – ශ්‍රී ලංකාව)

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව දසුන් ශානක ගේ නායකත්වය යටතේ සහභාගී වූ අතර එහි දී ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයට එක් වෙමින් තරග 5කට සහභාගී වූවා. නමුත් ඔවුන්ට එහි දී ජයග්‍රහණය කරන්නට ලැබෙන්නේ තරග 2ක් පමණයි. ඒ අනුව ඔවුන්ට එම කාණ්ඩයෙන් හිමි වූයේ සිවු වැනි ස්ථානයයි.

එම ප්‍රතිඵලය කෙසේ වෙතත් එක් ලෝක කුසලානයක දී වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් වනිඳු හසරංග ඉතිහාසයට එක් වූයේ මෙම තරගාවලියේ දී ලබා ගත් කඩුලු 16ත් සමඟිනුයි.

8 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා, ඔස්ට්‍රේලියාව

කොවිඩ් වසංගතය නිසා අහිමි වූ වසර කිහිපය හේතුවෙන් පෙර තරගාවලිය අවසන් වී වසරක් ගත වෙද්දී  මෙම තරගාවලිය පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරන ලද අතර එහි සත්කාරකත්වය ගෙවී ගිය තරගාවලියේ ජයග්‍රාහකයන් වූ ඔස්ට්‍රේලියාව සතු වෙනවා.

ගියවර තරගාවලියේ පළමු කණ්ඩායම් 8 අතරට ඇතුලත් වූ කණ්ඩායම් සෘජුව ම සුපිරි 12 දෙනාගේ වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් අතර ඊට පසුව ලැයිස්තු ගත වූ  නැමීබියාව, ස්කෝට්ලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන්ට රටවල් 16ක් අතර කාණ්ඩ 2ක් යටතේ පැවැති Global Qualifier තරගාවලියේ පළමු ස්ථාන ද්විත්වය දිනා ගත් කණ්ඩායම් සමඟින් පළමු වටයේ තරගවලට සහභාගී වීමට සිදු වූවා.

ඒ අනුව Global Qualifier A කාණ්ඩයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අයර්ලන්තය ද සහ Global Qualifier B කාණ්ඩයෙන් සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය ද මෙම තරගාවලියට එක් වුනා.

පළමු වටය සඳහා එක් වූ රටවල්

A කාණ්ඩය – ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය.

B කාණ්ඩය – සිම්බාබ්වේ, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව්.

මෙම වටයේ තරගවල දී A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ද, B කාණ්ඩයෙන් සිම්බාබ්වේ සහ අයර්ලන්තය ද සුපිරි 12 දෙනාගේ වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

සුපිරි 12 දෙනාගේ වටයට එක් වූ රටවල්

1 කාණ්ඩය – නවසිලන්තය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය.

B කාණ්ඩය – ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ.

මෙවර ද තරගාවලිය තරග 45කින් සමන්විත වූ අතර අවසන් මහා තරගය සඳහා පාකිස්තානය සහ එංගලන්තය සුදුසුකම් ලබා ගත්තා. දෙරට අතර පැවැති එම තරගයෙන් එංගලන්තය කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා.

ඒ අනුව ඔවුන් 2010 වසරට පසුව නැවත වතාවක් විස්සයි විස්ස ලෝක ශූරයන් වෙමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් අවස්ථා 2ක දී ලෝක ශූරතා දිනූ කණ්ඩායම් අතරට එක් වූවා.

  • තරගාවලියේ වීරයා – Sam Curran (එංගලන්තය)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභියා – Virat Kohli (296 – පාකිස්තානය)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභීන්- වනිඳු හසරංග (15 – ශ්‍රී ලංකාව)

මෙවර තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණඩායම සහභාගී වෙනිනේ දසුන් ශානකගේ නායකත්වය යටතේ වන අතර එහි දී ඔවුන් ට තමන් සහභාගී වූ කාණ්ඩයෙන් හිමි වෙන්නේ සිවු වැනි ස්ථානයයි.

ඒ කෙසේ වෙතත් පෙර වසරේ සේ ම නැවත වතාවක් වනිඳු හසරංග තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා බවට පත් වූවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ එක් වෙන 9 වැනි වෙළුම පිළිබඳ තොරතුරු තවත් ලිපියකින් බලාපොරොත්තු වෙන්න.

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<