ලෝක ශූරතාවයේ අවසන් ශ්‍රී ලංකා බලාපොරොත්තුව තරග බිමට!

World Athletic Championship 2023

3466

හංගේරියාවේ බුඩාපේස්ට් හිදි පැවැත්වෙන 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ හත්වැනි දිනය වූ ඊයේ (25) දිනය ද ඉතා සාර්ථක ලෙසින් අවසන් වූ අතර මෙහි දී වැඩි අවධානයක් කාන්තා සහ පිරිමි මීටර් 200 ඉසව්වට හිමි වුනා. 

මෙම ඉසව් දෙකේ දී බලාපොරොත්තු වූ පරිදි ම ජැමෙයිකාවේ Shericka Jackson (කාන්තා – තත්පර 21.41) සහ ඇමරිකාවේ Noah Lyles (පිරිමි – තත්පර 19.52) පහසුවෙන් ම තරග නිමා කරමින් රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙහි දී Shericka හට නව ශූරතාවලි වාර්තාවක් පිහිටුවීමට හැකියාව ලැබුණු අතර, ඇයට මෙම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට තිබූ අවස්ථාව තත්පර 0.07කින් අහිමි වී ගියා.

මේ අතර කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් වත්මන් ලෝක ශූරිය වන වෙනිසියුලාවේ Yulimar Rojas විසින් සිය ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ද ඊයේ සමත් වුනා. නමුත් ඇය විසින් සිය අවසන් පිම්ම වන තෙක් සාර්ථක කර ගැනීමට සමත් වී තිබුණේ පිමි දෙකක් පමණක් වන අතර, ඒවා ද එතරම් සාර්ථක පිමි වුනේ නැහැ. කෙසේ වෙතත් සිය අවසන් පිම්මෙන් එතෙක් 8 වැනි ස්ථානයේ රැඳී සිටි Rojas පළමු තැන දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා.

මීට අමතරව ඊයේ පැවැත්වුණු අනෙක් අවසන් තරගය වූ කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ද සිය අවසන් ප්‍රයත්නය සාර්ථක කර ගනිමින් පළමු ස්ථානයට පැමිණීමට ජපානයේ Haruka Kitaguchi විසින් සමත් වුනා.

ලෝක ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි 400×4 සහය දිවීමේ කණ්ඩායම අද (26) රාත්‍රියේ සිය ඉසව්වේ මූලික වටයට සහභාගී වීමට නියමිතයි.

මූලික වටයේ දෙවැනි සහ අවසන් තරග වටයේ (Heat 2) හත්වැනි මංතීරුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11.12ට ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇති.

මෙම තරග වටයට සහභාගී වන රටවල් 8 අතරින් මෙම තරග වාරයේ හොඳම කාලය (SB – 3.01.56) වාර්තා කිරීමට සමත් වී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම විසිනුයි. එමෙන්ම මෙම ඉසව්වට සහභාගී වන සමස්ත රටවල් 17ක් අතරින් මෙම තරග වාරයේ දෙවැනියට හොඳම කාලය (ඇමරිකාවට පමණක් දෙවැනි වෙමින්) වාර්තා කිරීමට සමත් වී ඇත්තේ ද ශ්‍රී ලංකාවයි.

මෙම ඉසව්වේ තරග වට ද්විත්වයේ ම මුල් ස්ථානය තුන බැගින් හිමි කර ගන්නා කණ්ඩායම් 6ට සඳුදා (28) අලුයම පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සහභාගී වීමට අවස්ථාව (Automatic Qualifying) හිමි වන අතර, ඊට අමතරව එම තරග වට ද්විත්වය තුළ ම ඉන් පසුව හොඳම කාල වාර්තා කරනා රටවල් දෙකට ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට (Non Automatic Qualifying) හැකියාව ලැබෙනවා.

අද දිනයේ දී පිරිමි රිටි පැනීම, කාන්තා යගුළිය විසි කිරීම, පිරිමි මීටර් 800, කාන්තා මීටර් 5000, පිරිමි සහ කාන්තා මීටර් 100×4 යන ඉසව් වල අවසන් තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම නිසා මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉතා උණුසුම් ඉසව් ගණනාවකින් සමන්විත විශේෂ රාත්‍රියක් ලෙස අද රාත්‍රිය හඳුන්වා දිය හැකියි. ඒ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<