සංගාගෙන් ගංගුලිට තල්ලුවක්

ICC ක්‍රිකට් සහාපති පුටුවට කවුරුන් තේරෙයිද?

440
කුමාර් සංගක්කාර විශ්වාස කරන්නේ ICC හි මීළඟ සභාපති තනතුර සඳහා ගංගුලි ‘ඉතා සුදුසු අපේක්ෂකයෙකු’ බවයි Image Credits - Sports Time

ICCහි මීළඟ සභාපති තනතුර සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ලෙස වැඩ කටයුතු කරනු ලබන සව්රව් ගංගුලි මහතා තරග වැදීම සඳහා ඉතාමත් සුදුසු බව ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර මහතා පවසා සිටියි. 

>>විස්ඩන් කුසලානය විශ්‍රාම යවමින් නව කුසලානයක්<<

“මම හිතන්නේ සව්රව් කියන්නේ හොඳ ක්‍රිකට් දැනුම තියෙන හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම හොඳ පරිපාලන නිලධාරියෙක් කියලයි. ඒ වගේම ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති හරි වෙන යම් රටක ක්‍රිකට් සභාපති කෙනෙක් වගේ නෙමෙයි. ඔහු ඇත්තටම හදවතින්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරමින් එහි ප්‍රගතිය අපේක්ෂාවෙන් සිටින කෙනෙක්. ඔබේ මානසිකත්වය සැබැවින්ම අන්තර්ජාතික මට්ටමේ දී සමාන වෙන්න ඕනේ. මා පැමිණියේ කුමන රටෙන් ද කුමන කණ්ඩායමෙන් ද කියා බලා තීරණ ගැනීමට හොඳ නැහැ. අපි ඔක්කොම ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන දේ හිතට අරගෙන ඒකේ දියුණුව වෙනුවෙන් හොඳම දේ කරන්න ඕනේ.” යැයි සංගක්කාර India Today පුවත්පත වෙත පවසා ඇත. 

“වැදගත්ම දෙය නම්, මේ ක්‍රීඩාවේ පදනම ලොව පුරා සිටින ළමයින්, රසිකයන් සහ ප්‍රේක්ෂකයින් වීමයි. මම හිතන්නේ සව්රව්ට එය ඉතා හොඳින් තේරෙනවා. ඔහු ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වීමට පෙර ද ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ විවිධ වැඩ කටයුතු කර තිබෙනවා. ඔහු ලොව පුරා ක්‍රීඩකයන් සමඟ සබඳතා ගොඩනඟා ගත් ආකාරය, MCC ක්‍රිකට් කමිටුව තුළද සව්රව් සිටින ස්ථාවරය මම දැක තියෙනවා. ඒ නිසා ICC මීළඟ සභාපති තනතුරට සව්රව් ඉතා සුදුසු අපේක්ෂකයෙකු වනු ඇති බවට මට කිසිඳු සැකයක් නැහැ.” සංගක්කාර මහතා තරයේ කියා සිටියේය. 

මෙයට අමතරව දකුණු අප්‍රිකානු හිටපු නායකයෙකු සහ වර්තමානයේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස වැඩකටයුතු සිදුකරනු ලබන ග්‍රැහැම් ස්මිත් මහතා ද ගංගුලි මහතා ICCහි මීළඟ සභාපති ලෙස තේරීම සඳහා සුදුසු බව පවසා සිටියේය. 

2016 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස කටයුතු කළ ශෂාන්ක් මනෝහර් මහතා පසුගිය ජූලි මස 01 වනදා පැවති ICCහි විශේෂ රැස්වීමක් අමතමින් ICC සහාපති පුටුවෙන් ඉවත්ව ගියේ වසර 4ක් වැනි කාලයක් සේවා කිරීමෙන් පසුවයි. 

මනෝහර් සිය ධුර කාලය අවසන් කිරීමත් සමඟ ඒ සඳහා පත්වන නව සභාපති පිළිබඳව බොහෝ දෙනා අතර කතාබහක් ගොඩනැගී තිබේ. 

>>වේගමානයේ මකුළු දැල් කැඩූ දිල්හාර ප්‍රනාන්දු<<

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති ධුර කාලය අගෝස්තු මස 03 වැනිදායින් අවසන් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති කොලින් ග්‍රේව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් අතර ඉදිරියෙන්ම පසුවේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආයතනික ව්‍යවස්ථාවට අනුව මණ්ඩලයේ දැනට සිටින අධ්‍යක්ෂවරුන් අතරින් එක් අයෙකු හෝ හිටපු අධ්‍යක්ෂවරයකු (වසර හයක් හෝ ඊට අඩු කාලයක් එම තනතුර හෙබවූ අයෙකු) කිසියම් සාමාජික රටක් විසින් යෝජනා කරනු ලැබුවහොත් සභාපති තනතුර සඳහා තරග කිරීමට සුදුසුකම් ලබයි. 

කොලින් ග්‍රේව්ස්ට අමතරව මෙලෙස සභාපති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සහ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සව්රව් ගංගුලිගේ නම ද කියැවේ. 

කෙසේ වෙතත් මෙම ධුරය සඳහා අපේක්ෂකයන් නම් කිරීම හෝ ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් නිකුත් කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<