ඉන්දු – පාකිස්තාන ගැටුමේ අළු යට තිබූ ගිනි ටිකෙන් ටික එළියට එයි!

701

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධුරය දරන Jay Shah විසින් ඊයේ (05) ඉදිරි වසර දෙක සඳහා ආසියානු ක්‍රිකට් කාලසටහන ඊයේ ප්‍රකාශ කළ අතර, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Najam Sethi විසින් එය උපහාසයට ලක් කරමින් විවේචනය කර තිබෙනවා.

ඊයේ Jay Shah විසින් ඉදිරි වසර දෙක සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි තරගාවලි පිළිබඳ සඳහන් කරමින් twitter පණිවිඩයක් නිකුත් කළ අතර, එහි මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී ආසියානු කුසලානය පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් මොනවා ද යන්නත් සඳහන් වී තිබුණා.

නමුත් එහි ආසියානු කුසලානය පැවැත්වෙන රට පිළිබඳ ව කිසිදු සඳහනක් නොවූ අතර, පෙර නියම වී ඇති ලෙස නම් තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි විය යුතුයි.

නමුත් මීට පෙර ඉන්දියානු ක්‍රිකට් ප්‍රධානීන්ගෙන් නිකුත් වූ ප්‍රකාශ අනුව නම් ඉන්දියාව පාකිස්තානයට සංචාරය කිරීමට ඒ තරම් ම උනන්දුවක් නොදක්වන බව පෙනී ගියා. (ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයට නොයන බවත්, තරගාවලියට සත්කාරකත්වය දරන රට වෙනස් වනු ඇති බවත් Jay Shah මීට පෙර ප්‍රකාශ කළා.)

එමෙන්ම මීට පෙර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානියා ව සිටි Ramiz Raja විසින් ප්‍රකාශ කළේ ACCය (ආසියානු ක්‍රිකට් කවුන්සිලය) මගින් පාකිස්තානයට තරගාවලියේ සත්කාරකත්වය  ලබා දීමෙන් පසු Jay Shahට තනි තීරණයක් මගින් සත්කාරකත්වය  දරන රට වෙනස් කළ නො හැකි බවත්, ඉන්දියාව පාකිස්තානයට නොපැමිණේ නම් පාකිස්තානය ද ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට යෑම පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති විය හැකි බවයි.

මෙම සිදුවීමේ අතීත කතාව සැකෙවින් ඒ ආකාරයෙන් ඇදී ආ අතර, Ramiz Rajaගෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් හී සභාපති ධුරයට පත් වූ Najam Sethi විසින් ඊයේම Jay Shahගේ මෙම twitter සටහනට තරමක් උපහාසාත්මක පිළිතුරක් ලබා දෙමින් එම මත ගැටුමට නව ජීවයක් ලවා දුන්නා.

“පාකිස්තානය විසින් සත්කාරකත්වය  ලබා දෙන්න නියම වෙලා තියෙන 2023 ආසියානු කුසලානය ගැනත් සඳහන් කරමින් ම 2023/24 කාලය සඳහා ACC සැලසුම් සහ තරග කාලසටහන ඒක පාර්ශවිකව ම ඉදිරිපත් කිරීම වෙනුවෙන් Jay Shahට ස්තුතිවන්ත වෙනවා.

ඒ දේවල් කරපු නිසා, ඔබට සමහර විට පුළුවන් වේවි 2023 PSL (පාකිස්තාන ක්‍රිකට් ලීගය) සඳහා සැලසුම් සහ කාලසටහනත් ඉදිරිපත් කරන්න. මේ වෙනුවෙන් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙනවා නම් අගය කරනවා.”

2023 ආසියානු කුසලාන තරගාවලිය ගියවර ශූරයින් වූ ශ්‍රී ලංකාවත්, අනුශූරයින් වූ පාකිස්තානයත් සමඟින් ඉන්දියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ තවත් සුදුසුකම් ලබන එක් රටක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි ඊයේ Jay Shah විසින් නිවේදනය කළේ.

එමෙන්ම ගියවර ආසියානු කුසලානය ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් විස්සයි විස්ස තරග රටාවෙන් පැවැත්වුණු අතර, මෙවර එය ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉන්දු – පාකිස්තාන දේශපාලන මත ගැටුම් නිසා ඉන්දියාව විසින් මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට උනන්දු වන බව අනුමාන කළ හැකි නමුත් ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට සහ එංගලන්තයට පාකිස්තානයට පැමිණ ආරක්ෂා සහිතව ක්‍රීඩා කළ හැකි නම් ආසියානු කුසලාන සත්කාරකත්වය  වෙන රටකට මාරු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පාකිස්තාන පාර්ශවයෙන් තර්ක කරනවා.

කෙසේ හෝ නුදුරේ දීම මෙම මත ගැටුම නිමා වී තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ තීරණයක් ලැබෙනු ඇත.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<