Babar Azamගේ ‘ආක්‍රමණශීලී ටෙස්ට් ක්‍රිකට්’ සැලැස්ම

Pakistan vs New Zealand 22/23

1518

ඊයේ (30) නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත්, තරගයේ අවසන් මොහොතේ පාකිස්තාන නායක Babar Azam විසින් ගත් තීරණයක් පිළිබඳ මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

පාකිස්තාන දෙවැනි ඉනිම ඊයේ දිනය අවසාන වීමට පන්දුවාර 15ක් ඉතිරිව තිබිය දී, කඩුලු 8කට ලකුණු 311ක් ලෙස සඳහන් වූ අතර, Saud Shakeel පන්දු 108කින් ලකුණු 55ක් ලබා ගෙන පිටියේ ස්ථාවර වී සිටියා. තරගය ජය පරාජයෙන් නිමා වීමට සියලුම වටපිටාව සැකසී ඇති බවක් ඒ මොහොතේ පෙනී ගියත්, නායක Babar Azam විසින් පාකිස්තාන ඉනිම නතර කර නවසීලන්තයට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමත් සමඟ තරගයේ ස්වභාවය කණපිට හැරුණා.

ඒ නිසා නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15ක් තුල දී ලකුණු 137ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් ඉතා වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පන්දුවාර 7 පන්දු 3ක දී එක් කඩුල්ලක් දැවී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වුනා.

නමුත් ඉන්පසුව අයහපත් ආලෝක තත්වය නිසා තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කිරීමත් සමඟ තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා.

ජයග්‍රහණයක් ලබා ගැනීම කළ නොහැකි බව පෙනුණ ද, ඒ වෙනුවෙන් උත්සාහ කිරීම තම අභිප්‍රාය වූ බව Babar Azam තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළා.

නවසීලන්ත දෙවැනි ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි Michael Bracewell ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම දැවී ගිය නමුත්, පසුව පිටියේ එක් වූ Devon Conway සහ Tom Latham ඉක්මන් ලකුණු 57ක සබඳතාවක් ගොඩ නගමින් තරගයේ පීඩනය පාකිස්තානය දෙසට යොමු කළා.

ඒ සමඟින් ක්‍රියාත්මක වූ Babar Azam විසින් සිය ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනාට පන්දු යැවීම භාර කළ අතර (එතෙක් වෙලා පන්දු යැවුවේ දඟපන්දු යවන්නන් විසිනි) තරග විනිසුරුවන් විසින් තරගය පවත්වා ගෙන යාමට අවශ්‍ය තරම් ආලෝකය ප්‍රමාණවත් නැති බැවින් තරගය නතර කිරීමට තීරණය කළා.

“මම ඉනිම අත්හිටවන්න තීරණය කළ වෙලාවේ Saud ටිකක් විතර පුදුම වුනා, ඔහු හිතන් හිටියේ අපි තරගය ජය පරාජයකින් තොරව අවසන් කරන්න යනවා කියලයි. අපි කිව්වා අපි තරගයේ ප්‍රතිඵලයක් ලබා ගන්න ක්‍රීඩා කරන බව.

මේ ක්‍රිකට්, ඕනෑම දෙයක් වෙන්න පුළුවන් ඒ නිසා අපි අවස්ථා ලබා ගන්නවා. Saudගේ සහ Mohommad Wasimගේ සබඳතාව අපිට ගොඩක් වැදගත් එකක් වුනා, මොකද ඒ නිසා තමයි අපි නැවතත් තරගයට අවතීර්ණ වුනේ. ඒ සබඳතාව තමයි අපිට ඉනිම අත් හිටවන්න පුළුවන් කියන අදහස මගේ ඔළුවට දැම්මේ. ඔබ සියලු දෙනාම එය රස විඳින්න ඇති, ඒ වගේම පුදුම වෙන්නත් ඇති. ඕනෑම දෙයක් සිදු වෙන්න පුළුවන් නිසා අපි උත්සාහ කරලා බැලුවා.

ඉනිම අත්හිටවන්න පෙර අපි පිටියේ සිටි පිතිකරුවන්ට පණිවුඩයක් යැවුවා තරගයේ ස්වභාවය අනුව ක්‍රීඩා කරන්න කියලා.

විටෙක ඔබට සිද්ධ වෙනවා නිර්භීත තීරණ ගන්න, ඒ වගේම අවස්ථාවන් උරගා බලන්න. නායකයෙක් විදිහට මම කරන්න උත්සාහ කරන්නේ ඒ දේයි. ඔබට සහතික කළ නොහැකි වුනත් ප්‍රතිඵලයක් ලබා ගන්න සැලසුම් කළ යුතුයි.”

සිය ආන්දෝලනාත්මක තීරණය පිළිබඳ Babar විසින් එසේ අදහස් පළ කරා.

එමෙන්ම නිමා වූ තරගයෙන් පාකිස්තාන ක්‍රිකට් පිළිබඳ ඉතා හොඳ ධනාත්මක කරුණු හසුකර ගැනීමට හැකි වූ බවත් Babar පවසනවා.

තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය විටෙක කඩුලු 4ක් දැවී ලකුණු 100ක් පමණක් ලබා සිටි අවස්ථාවක Imam-ul-haq, Saud Shakeel, Sarfraz Ahamed වැනි පිතිකරුවන් මෙන්ම, පසුපෙළ නියෝජනය කළ Mohommad Wasim (පන්දු 57කින් ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුනා), Mir Hamza (පන්දු 34කට මුහුණ දී ලකුණු 3ක් පමණක් ලබමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වුනා) වැනි ක්‍රීඩකයින්ගේ ද පිතිකරණ දක්ෂතාවන් ද නායකයා විසින් ඇගයීමට ලක් කළා.

“අපිට වෙනස් විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවශ්‍යයි කියන දේ නෙවෙයි මේ කියන්නේ. සැසියෙන් සැසියට, දවසෙන් දවසට දේවල් ඉදිරියට රැගෙන යන්න විතරයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය ආක්‍රමණශීලීව සහ ධනාත්මකව ක්‍රීඩා කරන්න. හැම කෙනෙකුට ම වෙනස් අදහස් සහ වෙනස් ක්‍රීඩා ශෛලීන් තියෙනවා. ඒ වගේම නවසීලන්තය විසින් තරගය ක්‍රීඩා කළ ආකාරය වගේම, තරගයේ ආධිපත්‍යය පතුරවන්න සමත් වුන ආකාරය පිළිබඳ වත් අගය කළ යුතුයි.

අපේ මුල් කඩුලු ඉක්මනින් දැවී ගියත්, අපි නැවත තරගයට අවතීර්ණ වුනා, ඒ වගේම පළමු ඉනිමේ පසුපෙළ පිතිකරුවන් එක්ක ඉනිම හොඳ තැනකට එන තෙක් අරන් ආපු එකේ ගෞරවය Salman Ali Aghaට ලැබිය යුතුයි.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා ලෝකයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<