වැරැද්ද හදාගන්න අකිල සූදානමින්

1069

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අකිල දනංජය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමට පසුව එහි නිවැරදිතාවය පිරික්සා බැලීම වෙනුවෙන් අද (1) දිනයේ දී ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යනු ඇත.

විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන …

අකිල දනංජය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු වන පියල් විජේතුංග මහතා ද ඉන්දියාව බලා ගමන් කරනු ඇත්තේ අකිලගේ සහාය පිණිසයි.

පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත තරග සංචාරයේ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව තරග තීරකවරුන් හා පිටියේ විනිසුරුවරුන් විසින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) වාර්තා කළේය.

එම තරගයේ දී ඉනිම් දෙකේ දී ලකුණු 183ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් දවා ගැනීමට සමත් වූයේ කඩුලු දෙකක් පමණි. නමුත් එංගලන්තය සමඟ 3-1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පැවති එක්දින තරග 5ටම සහභාගී වූ අකිල එහි දී ලකුණු 179කට කඩුලු 9ක් දවා ගත්තේ තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමිනි.

මේ වන විට සම්මත වී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීති හා රෙගුලාසිවලට අනුව ඕනෑම දඟපන්දු යවන්නෙක් හට ඔහුගේ අත අංශක 15කට ගෙන ඒමට අවස්ථාව දෙන නමුත් පසුගිය නොවැම්බර් 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හිදී පැවති ICC පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව අකිලගේ අත එම සීමාව ඉක්මවා යන බව තහවුරු වීමත් සමඟම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ක්‍රිකට් පිටිය තුල දී නීත්‍යානුකූල නොවන බවට ICC තීරණය කළේය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල තවදුරටත් සංඛ්‍යාත්මකව පෙන්වා දී ඇති ඔවුහු (ICC පරීක්ෂණ නිලධාරීන්), අකිල යවන ලද ඇතැම් පන්දු අංශක 23ක අගයක් දක්වා නැවෙන බව ද පෙන්වා දී තිබේ.

අකිල යළිත් දස්කම් අතරට

අකිල ධනංජය යනු, අවසන් මාස 12කට අධික කාලය තුළ ශ්‍රී ලංකාව ….

ඉන් පසුව අකිලට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දෙසැම්බර් 10 දා තීරණය කරන ලදි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති හා රීති පද්ධතියේ 11.1ක් වන වගන්තිය හා 11.5 වන වගන්ති වලට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල පන්දු යැවීමට අකිල හට නොහැකි වුවත් දේශීය මට්ටමින් පැවැත්වෙන ක්‍රිකට් තරග රටාවන් තුල යම් විරෝධයන් එල්ල නොවන්නේ නම් හෝ ඒ ඒ අදාළ ආයතන මඟින් ඔහුගේ පන්දු යැවීම තහනම් නොකරන්නේ නම් ඔහුට පන්දු යැවීමේ හැකියාව පවතී.

ඒ අනුව ක්‍රියාත්මක වූ අකිල High Performance Center (ඉහළ කාර්යසාධන මට්ටම් වර්ධන මධ්‍යස්ථානය) වෙත යොමු වූයේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමේ වෙනුවෙනි. ඒ අතරතුර ඔහුගේ නව පන්දු යැවීමේ ඉරියව්ව අත්හදා බැලීම හා පුහුණුවීම වෙනුවෙන් මේ දිනවල ක්‍රියාත්මක වන දේශීය පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග තුල කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ලදි. එම තරග කිහිපය තුල තරග දෙකකට සහභාගී වූ අකිල කඩුලු 11ක් දවා ගත්තේ NCC ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව දවා ගත් කඩුලු 5 අවස්ථාවත් සමඟයි.

High Performance Center හි ප්‍රධානි අසංක ගුරුසිංහ මහතාගේ යටතේ ක්‍රියාත්මක වූ උක්ත වැඩ සටහනෙහි, අකිල සමඟ ඉතාමත් සමීපව කටයුතු කළේ පියල් විජේතුංග මහතායි. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇතුළු මෙරට පුහුණු කාර්යය මණ්ඩලයේ ප්‍රධානම අරමුණ බවට පත්ව ඇත්තේ එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය වෙනුවෙන් අකිලව කෙසේ හෝ සූදානම් කිරීමයි.

ප්‍රථමයෙන්ම 2012 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරග වරම් දිනා ගනු ලැබූ අකිල මේ වන විට ටෙස්ට් තරග 5කට සහභාගි වෙමින් කඩුලු 27ක් ද, එක්දින තරග 30ක දී කඩුලු 46ක් ද බිඳ හෙළා තිබේ. 2012 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වීමට වරම් ලද අකිල මේ වන විට එම අංශයේ තරග 16 කට ක්‍රීඩා කරමින් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 14කි.

චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් පරික්ෂණාගාරයේ දී සිය පරීක්ෂණය සඳහා මුහුණ දෙන අකිල මේ සෙනසුරාදා (2) නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<