ලෝක කුසලාන වර්ජනය ගැන පාකිස්තානයෙන් පිළිතුරක්

2816

ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයට සහභාගී නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසුව පාකිස්තානය ද ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය වර්ජනය කරන බවට සිදු කළ ප්‍රකාශයක් පසුගිය කාලසීමාවේ සැමගේ අවධානයට ලක් වුනා.

එම සිදුවීම පිළිබඳව නවතම වාර්තාවක් ගෙන එමින් PTI පුවත්පත සඳහන් කර තිබුණේ, එලෙස ලෝක කුසලානය වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීම ඉන්දීය බලධාරීන්ට ආසියානු කුසලානය සඳහා සිය කණ්ඩායම එක් කිරීමට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් සිදු කළ බව පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන්ට ප්‍රකාශ කළ බවයි.

පාකිස්තාන ක්‍රිකට් සභාපති Ramiz Raja විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණේ 2023 එක්දින ලෝක කුසලානය වර්ජනය කිරීමට කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

Ramiz ප්‍රකාශ කළා ලෝක කුසලානයට සිය කණ්ඩායම සහභාගී නොකිරීමට තීරණයක් ගෙන නොමැති බව සහ එය ප්‍රධාන ඉසව්වක් නිසා වර්ජනය කිරීම එතරම් හොඳ දෙයක් නොවන බව. එමෙන්ම එයින් දෙරට අතර පවතින සම්බන්ධතාව පළුදු වීමට ද ඉඩක් ඇති බව ද ඔහු ප්‍රකාශ කළා,” යැයි PTI පුවත්පතේ සඳහන් වුනා.

එමෙන්ම Ramiz Raja වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සහභාගී වූවත් නැතත් 2025 ශූරයින්ගේ කුසලානය පාකිස්තානයේ දී පවත්වන බවයි.

Ramiz ඉතා පැහැදිලිවම ප්‍රකාශ කළා එම ඉසව්ව සඳහා යටිතල පහසුකම් අලුත්වැඩියා හෝ ගොඩනැගීම ආරම්භ කර ඇති නිසා ඉන්දියාව නිසා තරගාවලිය වෙනත් තැනකට ගෙන යාමට නොහැකියි කියලා.

ඉන්දියාව ඇතුළත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට ලබා දී අවසන් නිසා එය පවත්වන ස්ථානය සහ දිනයන් පිළිබඳව නැවතත් ප්‍රශ්න නැගීම අනවශ්‍ය බව ද ඔහු ප්‍රකාශ කළා,”  යැයි PTI පුවත්පතේ සඳහන් වුනා.

ඔක්තෝබර් මාසයේ දී ඉන්දීය ක්‍රිකට් ප්‍රධානියා විසින් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සහභාගී කරවීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කිරීමත් සමඟ දෙරට අතර මෙම උණුසුම් තත්වය හට ගත්තා.

ඉන්දියාව වසර 13ක් මුළුල්ලේ පාකිස්තානයේ සංචාරයකට එක්ව නොමැති අතර ඔවුන් අවසන් වරට 2008 ආසියානු කුසලානය සඳහා පාකිස්තානයේ සංචාරය කළා.

මුම්බායි ප්‍රහාරය සිදු වීමෙන් පසු එක් වරක් (2012) පාකිස්තානය ඉන්දියාවේ සංචාරයක නිරත වූවත් ඉන්පසුව ඔවුන් මුණ ගැසුණේ ප්‍රධාන තරගාවලිවල දී පමණයි.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<