පාකිස්තාන ක්‍රිකට්වලට එල්ල වන දේශපාලන බලපෑම් ගැන Ramiz Rajaගේ හෙළිදරව්ව

3463

දින කිහිපයක නිහැඬියාවකින් පසුව හිටපු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) සභාපති Ramiz Raja විසින් තමන්ට සිදු වූ අකටයුත්ත පිළිබඳ දැඩි කලකිරීමෙන් සහ ආවේගශීලී ලෙස අදහස් දක්වා තිබෙනවා.

පාකිස්තාන රජය විසින් සිදු කළ දේශපාලන පළිගැනීමක් නිසා තමන්ට එම ධුරය අහිමි වූ බවත්, ඔහු වෙනුවට තනතුරේ වැඩ බාර ගත් Najam Sethi කිසි දිනක ක්‍රිකට් පිත්තක් හෝ අතින් අල්ලා නැති අයකු බවත් Ramiz Raja විසින් පවසනවා.

“එක් පුද්ගලයෙක් වෙනුවෙන්, හරියටම කියනවා නම් Sethi වෙනුවෙන් ඔවුන් PCB හී සම්පූර්ණ ව්‍යවස්ථාව ම වෙනස් කළා. මම මේ වගේ දෙයක් ලෝකේ වෙන කොහේවත් දැකලා නැහැ. ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරමින් සිටින අතරේ දී ඔවුන් ක්‍රිකට් තේරීම් කමිටුව පවා වෙනස් කළා.

අලුයම 2 ට පමණ ඔහු (Sethi) විසින් Ramiz Raja තනතුරෙන් ගිය බවට twitter සටහනක් දාලා තිබුණා. මේ තමයි මගේ ක්‍රීඩා පිටිය. ඒ නිසා මේ සිදු වුන දෙයින් මට රිදුණා.”

ඊයේ (26) YouTube හරහා සිය රසිකයින් ව ආමන්ත්‍රණය කරමින් Raja විසින් තනතුරෙන් ඉවත් වීමෙන් පසුව මුල් වරට ඒ පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළා.

තවදුරටත් Sethiට සහ ඔහුගේ සහයක බල කණුවලට එරෙහිව සිය වාග් ප්‍රහාරය දියත් කළ Raja පවසන්නේ, වත්මන් පාකිස්තාන පුහුණුකරු Saqlain Mushtaq වෙනුවට හිටපු පුහුණුකරු Mickey Arthur ව නැවත පුහුණුකාර ධුරයට රැගෙන ඒමට නව පාලනයට අවශ්‍ය වී ඇති බවයි.

Sethi ව මෙතැනට ගෙනාවේ පාකිස්තාන ක්‍රිකට් නව තලයකට ගෙනියන්න සූදානමින් බව දැන් ඔවුන් මතු කරන්න උත්සාහ කරනවා.

ඒත් අපි දන්නවා ඇත්තටම ඔහු ආවේ ඇයි කියලා. ඔහුට ක්‍රිකට් ගැන කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔහු අඩු තරමේ කවදාවත් ක්‍රිකට් පිත්තක් උස්සල වත් නැහැ.

ඔවුන් මාව අතරමග දී මාරු කළා, දැන් ඔවුන් තරගාවලියක් අතර මැද්දේ Mickey Arthur ව ගේන්න හදනවා. Saqlainගේ කාලසීමාව ජනවාරි මාසෙන් කොහොමත් ඉවර වෙනවා. ඔහු ටෙස්ට් තරග 50කට (49) ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු පුරාවෘත්තයක්. මෙහෙම ක්‍රිකට් ක්‍රීඩකයින්ට සලකන එක වැරදියි.”

එමෙන්ම ක්‍රිකට් පරිපාලනයට සිදු වන දේශපාලනික ඇඟිලි ගැසීම් නතර කරන ලෙසත්, තමන් මේ පිළිබඳව ජාත්‍යන්තරයේ දී කතා බහට ලක් කරවන බවත් Raja තව දුරටත් පවසා තිබුණා.

“අවුරුදු තුනක කාල සීමාවක් ලබා දීලා , මාස 12කට පස්සේ පැත්තකට කළාම කලකිරෙනවා. මෙහෙම කළේ දේශපාලන අතකොළුවක් මෙතැනට පත් කරන්න.

ඒක ක්‍රිකට් පාලක මණ්ඩලයට වගේම රටේ සමස්ත ක්‍රිකට් පද්ධතියට ම බලපෑමක් ඇති කරවනවා. මෙහෙම දේවල් වෙන්නේ පාකිස්තානයේ විතරයි. මම මේක ජාත්‍යන්තර වේදිකාවලට ගෙන යනවා. මේක දැන් විහිළුවක් වෙලා.”

රටේ අග්‍රාමාත්‍යවරයා දැනට PCB හි අනුශාසක කෙනෙකු ලෙස කටයුතු සිදු කරන අතර, Ramiz Rajaගේ නෙරපා හැරීමෙන් පසු 2014 පැරණි ව්‍යවස්ථාවක් ද නැවත ප්‍රතිස්ථාපනය කර තිබෙනවා.

“ඔවුන් අඩුම තරමේ මගේ බඩු භාණ්ඩවත් කාර්යාලයෙන් පිටතට ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන් තිබුණු ව්‍යවස්ථා ඩෝසර් කරලා දැම්මා ඔවුන්ට ක්‍රිකට් ගැන කිසිම හැඟීමක් නැහැ. “

මේ දේවල් ගැන Ramiz Rajaට වගේම නව ප්‍රධානී Najam Sethiටත් කියන්න දේවල් තියෙනවා ලු!

Ramiz Raja විසින් පාලක මණ්ඩලයේ වගකීම් දරන කාලයේ ප්‍රකාශ කළේ එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයට නො පැමිණේ නම් පාකිස්තානය ද ඉන්දියාවට නො යනු ඇති බවයි.

නමුත් නව පත්වීම් ලද Sethi විසින් Ramiz Rajaගේ එම ප්‍රකාශවලට වඩා තරමක් පරස්පර විරෝධී අදහස් කිහිපයක් පවසා තිබෙනවා.

“පාකිස්තාන රජය කියනවා නම් ඉන්දියාවට යන්න එපා කියලා, අපි යන්නේ නැහැ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන තත්වය අනුව අපි ඉන්දියාවට යනවා ද නැද්ද කියන එක රාජතාන්ත්‍රික මට්ටමෙන් ගත යුතු තීරණයක්.”

එමෙන්ම සිය පත්වීම නිසා තනතුර අහිමි වූ Ramiz Raja පිළිබඳව මෙන්ම එම තනතුර අහිමි වීම පිළිබඳවත් Sethi විසින් අදහස් දක්වා තිබුණා.

“මට Ramiz ගැන ලොකු ගෞරවයක් තියෙනවා, ඔහු නැවත විස්තර විචාරක කුටියට යනවාට අපි විරුද්ධ වෙන්නේ නැහැ.

ඒ වගේම 2018 දීත් මමයි සභාපති වෙලා හිටියේ, ඒ කාලයේ දී Imran Khanගේ නව ආණ්ඩුවට බලය ලැබුණා. ඒ වෙලාවේ මම  තනතුරෙන් ඉල්ලා අස් වුනා, ඒ වගේම සමහරු ඊට කලින් ම මට කිව්වා මාව තනතුරෙන් ඉවත් කරාවි කියලා.

මම හැම වෙලාවක ම විශ්වාස කරනවා අගමැතිට අයිතිය තියෙනවා තමන් විශ්වාස කරන කෙනෙක් ව මේ තනතුරට පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසයි මම එදා ඉල්ලා අස් වුනේ.”

පාකිස්තාන ක්‍රිකට් වෙත එල්ල වී අති දේශපාලන බලපෑම කෙතරම් ද යන බව තහවුරු කරමින් ම Sethi එසේ පවසා සිටියා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz සහ Times Of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<