කෝඩුකාර සංජනා පාකිස්තානය පාලනය කරයි

Pakistan Women tour of Sri Lanka 2026

1
Pakistan Women tour of Sri Lanka 2026

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය අද (2) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

ඒ අනුව ඔවුන් තරගාවලියේ තවත් තරගයක් තිබිය දී ම තරග 2-0කින් තරගාවලිය ජයග්‍රහණය කරන අතර මෙම තරගයේ දී මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් සංජනා කාවින්දි තමන් සහභාගී වූ පළමු තරගයේ දී ම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද සමත් වූවා.

දෙරට අතර පැවැති පළමු තරගය නිමා වෙන්නේ ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි වෙමින්.

>>ඉමේෂා දුලානි මංගල T20 ශතකය රැස් කරයි

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල විස්සයි විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගැනිමට 17 වැනි වියේ පසුවෙන වමත් පිතිකාරිනී සංජනා කාවින්දි සමත් වූවා. ඇය වෙනුවෙන් අද කණ්ඩායමෙන් ඉවත් කර තිබුණේ නිලක්ෂිකා සිල්වා.

පාකිස්තාන කණ්ඩායම ද මෙම තරගය හා එක් වෙන්නේ එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ Humna Bilal වෙනුවට Waheeda Akhtar එක් කර ගනිමින්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා (කඩුලු රකින්නිය), රශ්මිකා සෙව්වන්දි, කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි සහ චමුදි ප්‍රබෝධා.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Muneeba Ali (නායිකාව සහ කඩුලු රකින්නිය), Shawaal Zulfiqar, Eman Naseer, Ayesha Zafar, Eyman Fatima, Saira Jabeen, Umm-e-Hani, Waheeda Akhtar, Nashra Sundhu, Tasmia Rubab සහ Momina Riasat.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නායිකා Muneeba Ali සහ Shawaal Zulfiqar සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 59ක දී ලකුණු 90ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Muneeba Ali ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

Shawaal Zulfiqar, 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 35ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාට අමතර ව පාකිස්තාන ඉනිම අවසන් වෙද්දී Eyman Fatima පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද සහ Eman Naseer පන්දු 21ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී චමුදි ප්‍රබෝධා ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව කවීෂා දිල්හාරි, චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම ඉනිමේ තවත් පන්දු 14ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී  ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

එම ගමනේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ ඉමේෂා දුලානි සහ නායිකා චමරි අතපත්තු විසිනුයි. නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 11කට පමණක් සීමා වෙනවා. පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ ඉමේෂා දුලානිට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 5ක් පමණයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ නවක ක්‍රීඩිකා සංජනා කාවින්දි. චමරි අතපත්තු හා හරි හරියට ක්‍රීඩා කරන මේ කෝඩුකාරිය, ඇයත් සමඟින් 2 වැනි කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට දායක වෙනවා.

චමරි අතපත්තු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 40කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

ඇය කඩුල්ල හැර ගිය පසු විශ්මි ගුණරත්න හා එක් වූ සංජනා කාවින්දි 3 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සංජනා කාවින්දි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය ඉනිම හැර යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව විශ්මි ගුණරත්න පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද සහ කවීෂා දිල්හාරි පන්දු 8ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Umm-e-Hani ලකුණු 28කට කඩුලු 2ක් ද, Waheeda Akhtar සහ Ayesha Zafar කඩුල්ල බැගින් ද ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 175 (20.0)Muneeba Ali45, Shawaal Zulfiqar 48, Eman Naseer 21, Eyman Fatima නොදැවී 30, චමෝදි ප්‍රබෝධා 2/27
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 178 (17.4)චමරි අතපත්තු 40, සංජනා කාවින්දි 46, විශ්මි ගුණරත්න 31, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 37, Umm-e-Hani2/28

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තරගයේ වීරයා – සංජනා කාවින්දි (ශ්‍රී ලංකාව)

මෙම තරගාවලියේ 3 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය මේ මස 4 වැනිදා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්විමට නියමිතයි.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<