ඕස්ට්‍රේලියාව 7 වැනි වරටත් ලෝක ශූරියන් වෙයි

ICC Women's T20 World Cup 2026

1
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට ඕස්ට්‍රේලියාව අද (5) සමත් වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිවාදීන් වූයේ සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවන් වන අතර ඔවුන්ට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින්, 7 වැනි වරටත් ලෝක ශූරියන් බවට පත් වූවා.  

London හී ‍ඓතිහාසික Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

මෙම කණ්ඩායම් ද්විත්වය ම අවසන් මහා තරගයට එක් වෙන්නේ අපරාජිතයන් ලෙසිනුයි. ඔවුනොවුන් මේ ලෙසින් ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරගයට එක් වූ 4 වැනි අවස්ථාවයි මේ. නිමා වූ එම අවස්ථා ත්‍රිත්වයේ දී ම ජයග්‍රාහකයන් වූ ඕස්ට්‍රේලියාව වූ ඔවුන් මෙවර ද ප්‍රතිවාදී එංගලන්තය පරාජය කරමින් සිවු වැනි වතාවටත් ඔවුන්ට කුසලානය අහිමි කරනවා.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Nat Sciver-Brunt (නායක), Amy Jones (කඩුලු රකින්නිය), Danni Wyatt-Hodge, Alice Capsey, Heather Knight, Freya Kemp, Danielle Gibson, Charlotte Dean, Linsey Smith, Sophie Ecclestone සහ Lauren Bell .

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Sophie Molineux (නායිකාව), Beth Mooney (කඩුලු රකින්නිය), Georgia Voll, Phoebe Litchfield, Ellyse Perry, Ashleigh Gardner, Georgia Wareham, Annabel Sutherland, Nicola Carey, Kim Garth සහ Lucy Hamilton.

ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ නායිකා Nat Sciver-Brunt ඇය පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.

ඇය Freya Kemp හා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 55ක දී නොදැවුණ ලකුණු 80ක සබඳතාවක් එක් කරනවා. Freya Kemp ඉනිම අවසන් වෙද්දී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාට අමතර ව Alice Capsey පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Lucy Hamilton, Kim Garth, Sophie Molineux සහ Annabel Sutherland කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලකුණ 17දී දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එහෙත් එතැන් සිට ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩ ගැනීමට Beth Mooney සහ Phoebe Litchfield සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 67ක දී ලකුණු 100ක සබඳතාවක් එක් කරන ලද අතර ඔවුන් ගේ සබඳතාව බිඳී යන්නේ Phoebe Litchfield ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඇය දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණ 48ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා පිටියේ සජීවී ව සිටිය දී ඉනිමේ පළමු පන්දුවාර 6 අවසන් කරද්දී ලකුණු 62ක් ලබා සිටි අතර ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 29ක දී ද ඉනිමේ 100 වැනි ලකුණ තවත් 34ක දී ද වාර්තා කිරීමට සමත් වෙනවා.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව Beth Mooney හා Ellyse Perry පිටියට එක් වූ අතර ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 18ක දී ලකුණු 23ක සබඳතාවක් එක් කරද්දී Beth Mooney දැවී යනවා.

Beth Mooney තමන් මුහුණ දුන් 38 වැනි පන්දුවේ දී මෙවර ලෝක කුසලාන තරගාවලියේ තම 2 වැනි අර්ධ ශතකය ලබා ගන්නා ලද අතර දැවී යන විට පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා.

තවත් පන්දු 17ක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණය කරද්දී Ellyse Perry පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ සිටි Ashleigh Gardner පන්දු 2කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 3ක් ලබා සිටියා.

ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වය Charlie Dean, Lauren Bell සහ Linsey Smith අතරේ බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක්දැවී 150(20.0) Nat Sciver-Brunt  නොදැවී 58, Alice Capsey 23, Freya Kemp නොදැවී 44
  • ඕස්ට්‍රේලියාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 153(17.1) Beth Mooney 64, Phoebe Litchfield 48

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ වීරයා – Beth Mooney (ඕස්ට්‍රේලියාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<