ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි

ICC Women's T20 World Cup 2026

8

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් වූ නවසීලන්තය සහ අනුශූරියන් වූ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගවලින් පරාජයට පත් වෙනවා.  

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2 වැනි දිනයේ දී (13) තරග ත්‍රිත්වයක් නිමා වෙන අතර එහි දී මෙතෙක් ලෝක කුසලාන 6ක් දිනා ගනිමින් වැඩිම ලෝක කුසලාන ප්‍රමාණයක් දිනා සිටින ඕස්ට්‍රේලියාව හමුවේ පසුගිය වසරේ අනුශූරියන් වූ දකුණු අප්‍රිකාව පරාජයට පත් වෙනවා.  

ඔවුන් එලෙසින් පරාජයට පත් වෙද්දී නිමා වූ ලෝක කුසලානයේ ශූරියන් වූ නවසීලන්තය 2016 වසරේ ශූරියන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ පරාජයට පත් වෙනවා. 

ඊට අමතර ව පැවැති අනෙක් තරගයේ දී අයර්ලන්තය පරාජය කරමින් ස්කොට්ලන්තය ජයග්‍රහණය කළා.   

  • 2වැනි තරගය, 2 වැනි කාණ්ඩයස්කොට්ලන්තය සහ අයර්ලන්තය, Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – අයර්ලන්තය 

මෙම තරගයේ පළමු පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 161ක් ලබා ගැනීමට සමත් වෙන අතර එම ඉනිමේ වැඩිම ලකුනුලාභිනිය වන්නේ නායිකා Kathryn Bryce. ඇය පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගන්නවා. එය ඇයගේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල අර්ධ ශතකයයි.  

ඊට අමතර ව Sarah Bryce ද පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 106ක සබඳතාවක් එක් කරනවා.  

කඩුලු දවා ගැනීමේ දී Ava Canning ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන් සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 121ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී Amy Hunter පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ද සහ Orla Prendergast පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.  

පන්දු යැවීමේ දී Kirstie Gordon ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඇය මෙම කඩුලු 3 ලබා ගන්නේ එක ම පන්දුවාරයක දී වීම කැපී පෙණෙනවා.  

ඊට අමතර ව Katherine Fraser කඩුලු 3ක් ද සහ Kathryn Bryce කඩුලු ද්විත්වයක් ද දවා ගන්නවා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ස්කොට්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 161 (20.0) Kathryn Bryce 60, Sarah Bryce 49, Ava Canning 3/27 
  • අයර්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 121 (19.1) Amy Hunter 39, Orla Prendergast 33, Kathryn Bryce 2/19, Kirstie Gordon 3/16, Katherine Fraser 3/19 

ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 40ක ජයක්. 

තරගයේ වීරයා – Kathryn Bryce (ස්කොට්ලන්තය 

3වැනි තරගය, 1 වැනි කාණ්ඩයඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව, Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබා ගන්නවා. එම ඉනිම වෙනුවෙන් Phoebe Litchfield පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නවා. එය ඇයගේ ලෝක කුසලාන තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.  

ඇයට අමතර ව Ellyse Perry පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ද සහ Georgia Wareham පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Nonkululeko Mlaba, Ayabonga Khaka සහ Nadine de Klerk කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 107ක් පමණයි. තවත් පන්දු 20ක් ද ඉතිරි ව තිබිය දී දැවී ගිය ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ නායිකා Laura Wolvaardt. ඇය පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා. 

කඩුලු දවා ගැනීමේ දී Georgia Wareham ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව  Sophie Molineux සහ Alana King කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ඕස්ට්‍රේලියාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 172 (20.0) Phoebe Litchfield 50, Ellyse Perry 36, Georgia Wareham 32, Annabel Sutherland 21, Ayabonga Khaka 2/33, Nonkululeko Mlaba 2/22Nadine de Klerk 2/35 
  • දකුණු අප්‍රිකාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 107 (16.4) Laura Wolvaardt 44, Nadine de Klerk 25, Sophie Molineux 2/17, Alana King 2/26, Georgia Wareham 3/13 

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 65ක ජයක්. 

තරගයේ වීරයා – Georgia Wareham (ඕස්ට්‍රේලියාව)

4වැනි තරගය, 2 වැනි කාණ්ඩය (දිවා/රාත්‍රී)නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදව්, Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදව් 

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නේ එක් පන්දුවක් ඉතිරි ව තිබියදීයි. 

එහි දී නායිකා  Hayley Matthews සහ Shemaine Campbelle එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කරමින් ජයග්‍රහණයේ අඩිතාලම දමනවා.  

Hayley Matthews පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා ගත් අතර ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Shemaine Campbelle පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා සිටියා. එය ඇයගේ 155ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම ඉනිමයි.  

බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු ත්‍රිත්වයෙන් කඩුලු 2ක හිමිකාරීත්වය Jess Kerr සතු වුණා.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Brooke Halliday. ඇය පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව Isabella Gaze පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් ද සහ Maddy Green පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Aaliyah Alleyne ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත් අතර එය ඇය ගේ 63ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීමයි.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • නවසීලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 162 (20.0) Isabella Gaze 39, Sophie Devine 22, Brooke Halliday 40, Maddy Green නොදැවී 35, Aaliyah Alleyne 4/27 
  • බටහිර ඉන්දීයකොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 163 (19.5) Hayley Matthews 48, Shemaine Campbelle නොදැවී 90, Jess Kerr 2/17 

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

තරගයේ වීරයා – Shemaine Campbelle (බටහිර ඉන්දීය කොදෙව්) 

තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (14) පැවැත්වීමට නියමිතයි.  

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<