LPL සංස්කරණ 5ක සැමරුම්

LPL 2026

2
LPL 2026

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර මේ සිකුරාදා (17) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

පහත සටහන් වෙන්නේ මෙතෙක් පැවැති LPL තරගාවලි 5ක සංක්ෂිප්තයයි.

>>LPL පිටිය කැළඹු අදියර 5ක වාර්තා<<

1 වැනි තරගාවලිය (2020)

ජයග්‍රාහකයෝ : Jaffna Stallions

අනුශූරතාව : Galle Gladiators

තරගාවලියේ වීරයා : වනිඳු හසරංග

කෝඩුකාර තරගාවලිය ආරම්භ වෙන්නේ 2020  නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වායි. මෙරට පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලියේ සියලු තරග හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැතියා.

තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් Colombo Kings, දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් Dambulla Viiking, භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් Galle Gladiators, තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුත් Jaffna Stallions සහ කුසල් පෙරේරා ගේ නායකත්වයෙන් යුත් Kandy Tuskers යන කණ්ඩායම් සහභාගී වූවා.

තරග 23කින් යුත් මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා Jaffna Stallions සහ Galle Gladiators සුදුසුකම් ලබා ගත් අතර එහි දී Jaffna Stallions ක්‍රීඩකයෝ ලකුණු 53ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මංගල තරගාවලියේ ශූරයන් බවට පත් වුණා.

LPL 2026

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ Jaffna Stallions කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංග. ඔහු මෙම තරගාවලියේ කඩුලු 17ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට ද පත් වුණා.

තරග 10ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 476ක් ලබා ගත් Galle Gladiators කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වුණා.

2 වැනි තරගාවලිය (2021)

ජයග්‍රාහකයෝ : Jaffna Kings

අනුශූරතාව : Galle Gladiators

තරගාවලියේ වීරයා : අවිශ්ක ප්‍රනාන්දු

මෙම තරගාවලිය 2021 වසරේ දෙසැම්බර් 5 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැතියා.

මෙම තරගාලිය ද කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැති අතර එහි දී සුපුරුදු ලෙසින් ම Colombo Stars කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් ද, Dambulla Viiking නමින් නම් ව තිබූ කණ්ඩායම Dambulla Giants කණ්ඩායම ලෙසින් දසුන් ශානක ගේ නායකත්වයෙන් ද, Galle Gladiators කණ්ඩායම භානුක රාජපක්ෂ ගේ නායකත්වයෙන් ද, Jaffna Stallions ලෙසින් නම් ව තිබූ කණ්ඩායම Jaffna Kings ලෙසින් තිසර පෙරේරා ගේ නායකත්වයෙන් ද කුසල් පෙරේරා ගේ නායකත්වයෙන් යුතුව තිබූ Kandy Tuskers කණ්ඩායම Kandy Warriors යන නමින් ඇන්ජලෝ පෙරේරා ගේ නායකත්වය යටතේ ද තරගාවලියට එක් වුණා.

තරග 24කින් යුත් මෙම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා නැවත වතාවක් Jaffna Kings කණ්ඩායම සහ Galle Gladiators කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති එම අවසන් මහා තරගයෙන් නැවත වතාවක් ජයග්‍රහණය කිරීමට Jaffna Kings ක්‍රීඩකයෝ සමත් වෙනවා.

lpl

අවසන් මහා තරගයේ වීරයා සේ ම තරගාවලියේ වීරයා බවට ද පත් වීමට Jaffna Kings කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සමත් වෙනවා.  ඔහු මෙම තරගාවලියේ දී තරග 10ක දී ලකුණු 312ක් ලබා ගත් අතර අවසන් මහා තරගයේ දී අර්ධ ශතකයක් ද වාර්තා කරනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා බවට පත් වෙන්නේ Galle Gladiators කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්. ඔහු තරග 10ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 327ක් ලබා ගන්නවා. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ Galle Gladiators කණ්ඩායම නියෝජනය කළ එංගලන්ත ක්‍රීඩක Samit Patel. ඔහු තරග 10ක දී කඩුලු 16ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

3 වැනි තරගාවලිය (2022)

ජයග්‍රාහකයෝ : Jaffna Kings

අනුශූරතාව : Colombo Stars

තරගාවලියේ වීරයා : සදීර සමරවික්‍රම

මෙම තරගාවලිය 2022 වසරේ දෙසැම්බර් මස 6 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස, සූරියවැව මහින්ද රාජක්ෂ සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැතියා.

මෙම තරගාවලියේ දී සුපුරුදු ලෙසින් ම Colombo Stars කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් ද, දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් Dambulla Giants කණ්ඩායම Dambulla Aura නමින් ද, භානුක රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් Galle Gladiators කණ්ඩායම කුසල් මෙන්ඩිස් ගේ නායකත්වයෙන් ද, තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුත් Jaffna Kings කණ්ඩායම ඒ නමින් ම ද සහ Kandy Warriors නමින් යුත් කණ්ඩායම Kandy Falcons ලෙසින් නම් ව සුපුරුදු ලෙසින් ම වනිඳු හසරංග ගේ නායකත්වයෙන් ද තරගාවලියට එක් වුණා.

lpl

තරගාවලියේ පිට පිට 3 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් වීම කැපී පෙණුන අතර ඔවුන් සමඟින් අවසන් මහා තරගයට පළමු වරට සුදුසුකම් ලබා ගැනීමට Colombo Stars කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයෙන් Jaffna Kings ක්‍රීඩකයෝ කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවත වතාවක් ශූරයන් බවට පත් වෙනවා.

පෙර වසරේ සේ ම මෙම අවසන් මහා තරගයේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ අතර තරගාවලියේ වීරයා බවට පත් වූයේ Jaffna Kings කණ්ඩායම නියෝජනය කළ සදීර සමරවික්‍රම.

ඔහු තරගාවලියේ තරග 9කට එක් වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 294ක් ලබා සිටි අතර කඩුල්ල පිටුපස සිටිමින් දවා ගැනීම් 10කට ද දායකත්වය දක්වනවා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ තරග 10ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 339ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු වන අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ තරග 8ක දී කඩුලු 18ක් දවා ගත් Kandy Falcons කණ්ඩායමේ කසුන් රාජිත.

4 වැනි තරගාවලිය (2023)

ජයග්‍රාහකයෝ : B-Love Kandy

අනුශූරතාව : Dambulla Aura

තරගාවලියේ වීරයා : වනිඳු හසරංග

මෙම තරගාවලිය 2023 වසරේ ජුලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී සුපුරුදු ලෙසින් ම කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැතියා.

පෙර තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් යුතුව තරගාවලියට එක් වූ Colombo Stars කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ නිරෝෂන් දික්වැල්ල ගේ නායකත්වය යටතේ Colombo Strikers නමිනුයි. එමෙන් ම දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් Dambulla Aura කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් සතු කර තිබූ අතර භානුක රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුත් Galle Gladiators කණ්ඩායම Galle Titans නමින් නම් කර දසුන් ශානක වෙත බාර දී තිබුණා.

සුපුරුදු ලෙසින් ම Jaffna Kings කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා සතු වූ අතර වනිඳු හසරංග ගේ නායකත්වයෙන් යුත් Kandy Falcons කණ්ඩායම B-Love Kandy නමින් ඔහු ගේ නායක්තවයෙන් ම තරගාවලියට එක් වුණා.

lplමෙම තරගාවලියේ එතෙක් ශූරයන් බවට පත් ව සිටි Jaffna Kings කණ්ඩායම සුදුසුකම් ලැබීමේ Eliminator තරගයේ දී පරාජය කළ B-Love Kandy කණ්ඩායම පළමු වරට අවසන් මහා තරගයට එක් වීමට සමත් වෙනවා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වෙන්නේ Dambulla Aura කණ්ඩායමයි. ඔවුන් ද මෙම තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නේ පළමු වතාවටයි.

කෝඩුකාර කණ්ඩායම් ද්විත්වයක් එක් ව පැවැති අවසන් මහා තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් B-Love Kandy කණ්ඩායම LPL තරග ඉතිහාසයේ තමන් ලැබූ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වෙනවා.

අවසන් මහා තරගයේ වීරයා ලෙසින් B-Love Kandy කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණ B-Love Kandy කණ්ඩායමේ නායක වනිඳු හසරංග තරග 10ක දී ලකුණු 279ක් සහ කඩුලු 19ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සේ ම කඩුලුලාභියා ද වූයේ ඔහුයි.

5 වැනි තරගාවලිය (2024)

ජයග්‍රාහකයෝ : Jaffna Kings

අනුශූරතාව : Galle Marvels

තරගාවලියේ වීරයා : Rilee Rossouw

මෙම තරගාවලියේ 2024 වසරේ ජුලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස, රංගිරි දඹුල්ල සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී සුපුරුදු ලෙසින් කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැතියා.

පෙර තරගාවලිය හා එක් වූ නිරෝෂන් දික්වැල්ල ගේ නායකත්වයෙන් යුත් Colombo Strikers කණ්ඩායම මෙවර තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුතුව ද, දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් Dambulla Aura කණ්ඩායම Dambulla Sixers නමින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Mohammad Nabi ගේ නායකත්වයෙන් ද, දසුන් ශානක ගේ නායකත්වයෙන් යුත් Galle Titans කණ්ඩායම Galle Marvels නමින් නම් කර නිරෝෂන් දික්වැල්ල ගේ නායකත්වයෙන් ද, තිසර පෙරේරා ගේ නායකත්වයෙන් යුත් Jaffna Kings කණ්ඩායම චරිත් අසලංක ගේ නායකත්වයෙන් ද සහ පෙර වසරේ ජයග්‍රාහී වනිඳු හසරංග ගේ නායකත්වයෙන් යුත් B-Love Kandy කණ්ඩායම Kandy Falcons ලෙසින් නම් කර ඔහු ගේ නායක්තවයෙන් ම තරගාවලියට එක් වුණා.

lplමෙම තරගාවලියේ දී නැවත වතාවක් අවසන් මහා තරගයේ එක් අසුනක් හිමිකර ගැනීමට  Jaffna Kings ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඔවුන් මෙම අවස්ථාව උදා කර ගන්නේ සුදුසුකම් ලැබීමේ 2 වැනි තරගයේ දී පෙර වසරේ ශූරයන්ට එරෙහි ව ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.

අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගන්නේ පළමු තරගාවලි ද්විත්වයේ අනුශූරයන් බවට පත් වූ Galle Marvels කණ්ඩායමයි.

එම කණ්ඩායම් ද්විත්වය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නා Jaffna Kings ක්‍රීඩකයෝ LPL තරගමාලාවේ සිව් වැනි වතාවටත් ශූරයන් බවට පත් වෙනවා.

අවසන් මහා තරගයේ දී ශතකයක් ලබා ගත් Jaffna Kings කණ්ඩායමේ නායක Rilee Rossouw අවසන් මහා තරගයේ වීරයා බවට පත් වූ අතර ඔහු තරග 11ක දී ශතක ද්විත්වයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 389ක් ලබා ගත් දක්ෂතාත් සමඟින් තරගාවලියේ වීරයා බවට ද පත් වුණා.

තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වූයේ Galle Marvels කණ්ඩායම නියෝජනය කළ නවසිලන්ත ක්‍රීඩක Tim Seifert. ඔහු තරගාවලිය නිමා කරන්නේ තරග 10ක දී ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 400ක් ලබා ගනිමිනුයි.

තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වූයේ Colombo Strikers කණ්ඩායම නියෝජනය කළ පාකිස්තාන ක්‍රීඩක Shadab Khan. ඔහු තරග 9ක දී කඩුලු 17ක් දවා ගන්නවා.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<