දෑත් අහිමිව ජාත්‍යන්තරය ජය ගත් ඊජිප්තුවේ Mr. Impossible

ටෝකියෝ පැරාලිම්පික් උළෙල 2020

178

උත්සාහයට, අධිෂ්ඨානයට සහ කැපවීමට පරාජය කරන්න බැරි දෙයක් තියනවා ද? මේ ප්‍රශ්නයට හොඳම උත්තරය Ibrahim Hamadtou. 

ThePapare.com ගෙන එන මේ සටහන මේ දිනවල ඉතාමත් විශාල ප්‍රසිද්ධියක් උසුලන ඊජිප්තුවේ පැරාලිම්පික් මේසපන්දු ක්‍රීඩක Ibrahim Hamadtou පිළිබඳවයි.

2016 වසරේ දී බ්‍රසීලයේ රියෝ හිදී පැවැත්වුණු පැරාලිම්පික් තරගාවලිය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ එම තරගාවලියේ මේසපන්දු ඉසව්වට සහභාගී වුන එක් සුවිශේෂී ක්‍රීඩකයෙක් නිසාවෙන්. පැරාලිම්පික් තරගාවලිය ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන්වූ තරගාවලියක් වුනත් Ibrahim Hamadtou ගැන ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ අවධානයක් යොමු කර තිබුණා.

Ibrahim Hamadtou පන්දු පිරිනැමීමක් අතරතුර

1973 ඊජිප්තුවේ දී උපත ලබන Ibrahim, ඔහුගේ කුඩා අවධිය ගත කළේ Damietta හිදීයි. උපතින්ම ආබාධිතයෙක් නොවුනත් ඔහුගේ ජීවිතයේ අඳුරුතම කාලය එළඹෙන්නේ 1983 වසරේ දීයි. ඒ වෙද්දී අවුරුදු 10ක් වුන Ibrahim Hamadtou දරුණු දුම්රිය අනතුරකට මුහුණ දෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට වෛද්‍යවරු නිර්දේශ කරනවා ඔහුගේ දෑත් දෙකම ඉවත් කරන්න. මේ අනතුරින් පස්සේ Ibrahim නිවසින් එළියට යන්නේ රාත්‍රි කාලයේ දී පමණයි. ඒකට හේතුව වෙන්නේ ඔහුගේ ආබාධය නිසා ඔහුව සමාජයෙන් කොන් වේවි කියන බය.

ඉන් පස්සේ ඔහු ඉතාමත් දුෂ්කර කාලයක් ගත කරනවා. ටික කාලයකින් පස්සේ ඔහු ඔහුගේ මිතුරන් එක්ක පාපන්දු ක්‍රීඩා කිරීමට පුරුදු වී තිබුණා. කෙසේ වෙතත් දෑත් දෙකම අහිමි ඔහුට සමබරතාව පවත්වා ගන්න ඉතාමත් අසීරු වීම පාපන්දු ක්‍රීඩාවෙන් ඔහුව ඈත් කරන්න හේතු වුනා. 

ඉන් අනතුරුව ඔහුගේ ප්‍රදේශයේ තරුණ ක්‍රීඩකයන්ට වෙන්වූ මධ්‍යස්ථානයේ දී Ibrahim Hamadtou මේසපන්දු ක්‍රීඩාවට යොමුව තිබුණා. දෑත් අහිමි වුනත් ඔහු ඔහුටම ආවේණික ක්‍රීඩා රටාවකට යොමුව තිබෙනවා. 

“දවසක් මම තරුණ මධ්‍යස්ථානයේ දී මගේ මිතුරන් දෙදෙනෙක් මේසපන්දු ක්‍රීඩා කරනවා බලාගෙන හිටියා. ඊට පස්සේ මම ඔවුන්ගේ ලකුණු ගණනය කළා. ඔවුන් දෙදෙනා එක් ලකුණකට වාද කරන්න පටන් ගත්තා. මම ඒ වෙලාවේ ඔවුන්ට නිවැරදි ලකුණු කිව්වා. ඒත් ඔවුන් ඒක පිළිගත්තේ නැහැ. ඔවුන් මට කිව්වා මට කවදාවත් මේසපන්දු ක්‍රීඩා කරන්න බැහැ. ඒ නිසා මේකට මැදිහත් වෙන්න එපා කියලා. ඒ වෙලාවේ මට හිතුණා මම මේසපන්දු ක්‍රීඩා කරන්න පටන් ගන්න ඕනේ කියලා. ඒක තමයි මගේ ආරම්භය”, සිය මේස පන්දු ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් Ibrahim Hamadtou පවසා සිටියා.

Ibrahim 2020 පැරාලිම්පික් තරගාවලිය අතරතුර

දෑත් අහිමි ඔහු මේසපන්දු ක්‍රීඩා කරන්නේ කෙසේ ද? ඇත්තෙන්ම ඔහු මේසපන්දු පිත්ත රඳවා ගන්නේ ඔහුගේ මුවේයි. තරගය අතරතුර Ibrahim පලඳින්නේ එක් සපත්තුවක් පමණයි. පන්දු පිරිනැමීම සඳහා ඔහු පන්දුව ඉහළට යොමුකරගන්නේ සිය දකුණු පාදයෙන්.

“මගේ මුවින් පිත්ත අල්ලගන්න පුරුදු වෙන්න මට අවුරුද්දක් විතර ගියා. ඊටත් වඩා කාලයක් ගියා පාදයෙන් පන්දුව ඉහළට අරන් පිරිනැමීම කරන්න. පුහුණුවත් එක්ක මේ හැකියාව ටික ටික දියුණු වුනා.” 

Ibrahim Hamadtou පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වෙන්නේ 2011 වසරේ දීයි. ඒ 2011 අප්‍රිකානු ශූරතාවලියේ දී රිදී පදක්කමක් දිනා ගැනීමත් සමඟින්. ඉන් අනතුරුව 2013 වසරේ අප්‍රිකානු ශූරතාවලියේ දී සහ ඊජිප්තු විවෘත මේසපන්දු තරගාවලියේ දී රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට ඔහු සමත් වුනා. ඔහුගේ මෙම දස්කම් පිළිබඳව අවධානය යොමු කරන මේසපන්දු සම්මේලනය ඔහුගේ ජීවිත කතාව ඇසුරින් වීඩියෝවක් නිර්මාණය කර තිබුණා. 

“2013 තමයි මගේ ජීවිතයේ වැදගත්ම වසර වුනේ. ඒ වසරේ දී දැක්වූ දක්ෂතා නිසා මට 2014 වසරේ දී Sheikh Mohammed Bin Rashid Al Maktoum ක්‍රීඩා සම්මානය හිමි වුනා. ඒ වගේම හොඳම අරාබි ක්‍රීඩකයා සම්මානයත් හිමි වුනා. මේ නිසා මගේ ධෛර්යය තවත් වැඩි වුනා.”

2011-2015 කාලය තුල දී Ibrahim දැක්වූ දක්ෂතා නිසා ඔහුට 2016 රියෝ පැරාලිම්පික් උළෙලට එක්වීමට හැකියාව ලැබුණා. Ibrahimගේ ජාත්‍යන්තර ආගමනය සටහන් වන්නේ ඒ අනුවයි. 2016 පැරාලිම්පික් තරගාවලිය සඳහා එක්වන විට ඔහුගේ වයස අවුරුදු 43ක්. මෙම තරගාවලියේ දී ඔහු 11 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා. කණ්ඩායම් ඉසව්වේ දී ඔහු 9 වැනි ස්ථානය ලබා ගත්තා. 

Ibrahim Hamadtou 2016 පැරාලිම්පික් උළෙලේදී

“2016 ඔලිම්පික් උළෙලට එක්වෙන එක මගේ හීනයක් සැබෑ වුනා වගේ. මට ඒ අවස්ථාව ලැබුණම මම ගොඩක් සතුටු වුනා. ඒත් 2016 දී මම එතරම් සූදානම් වෙලා හිටියේ නැහැ. ඒත් දැන්ට තවත් අවස්ථාවක් ලැබිලා තියනවා. මගේ උත්සාහය මේ තරගාවලියේ දී පදක්කමක් දිනා ගන්න එක”, Ibrahim Hamadtou පවසා සිටියා.

පසුගිය වසර කීපය තුළ Ibrahim දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලිය සඳහා ද සහභාගී වීමට හැකියාව ලැබුණා. ඔහු මෙවර තරගාවලිය සඳහා සහභාගී වන්නේ 47 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙසයි.

පැරාලිම්පික් තරගාවලිය තුල ඔහු බලාපොරොත්තු වූ පදක්කම් දිනා ගැනීමට හැකියාවක් නොලැබුණ ද තම ජීවිත කතාව ලොව පුරා ප්‍රසිද්ධ වීම ඔහුගේ එක් බලාපොරොත්තුවක් බව Ibrahim පවසා තිබෙනවා.

“මම සතුටු වෙනවා මගේ කතාව අන්තර්ජාලය පුරාම ප්‍රසිද්ධ වීම ගැන. මේ වගේ සිදුවීමකට මුහුණ දුන්න කෙනෙක්ට ඉස්සරහට ඇවිල්ලා ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න තල්ලුවක් දෙන්න මේක ගොඩක් ප්‍රයෝජනවත්. ආබාධ සහිත ක්‍රීඩකයන්ට බලාපොරොත්තුවක් එක්ක ජීවිතය ආරම්භ කරන්න මේක උදව්වක් වේවි. මේ ජීවිතයේ කරන්න බැහැ කියලා කිසිම දෙයක් නැහැ.”

උත්සාහ, අධිෂ්ඨානය, කැපවීම තියනවා නම් පරාජය කරන්න බැරි දෙයක් තියනවා ද? මේ ප්‍රශ්නයට හොඳම උත්තරය දෙන්නේ Ibrahim Hamadtou!

ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානමින් සිටිනවා, රැඳී සිටින්න ThePapare.com අපි සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<