සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර අද (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු සිව් දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 344ක් ලබා සිටි අතර එම ඉනිමට සෙනුජ වැකුණගොඩ ලබා ගත් ද්විත්ව ශතකයක් ද ඇතුලත් වුණා.
මෙම තරගයට එක් වූ ඉන්දු – ශ්‍රී ලංකා සියලුම ක්‍රීඩකයන්ගේ මංගල යොවුන් සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), දිමන්ත මහවිතාන, දුල්නිත් සිගේරා, සෙනුජ වැකුණගොඩ, කවිජ ගමගේ, චාමික හිනටිගල, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), රමිරු පෙරේරා, දිමත් අබේසිංහ, ලතීන්ද්‍ර ආකාශ් සහ ඔෂද මනහර.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Yashbardhan Chauhan (නායක), Lakshya Raichandani, Sagar Virk, Kushagra Ojha, Manav Krishna (කඩුලු රකින්නා), Kush Patel, BK Kishore, Jeganathan Hemchudeshan, Kavya Paresh Patel, Pranav Ragavendra, Priyanshu Singh
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව ඉනිම ආරම්භ කළේ දිමන්ත මහවිතාන සහ දුල්නිත් සිගේරා විසිනුයි.ඔවුන්ට නායකයාගේ, පන්දුවට පහර දීමේ විශ්වාසය රැකීමට හැකි වෙන්නේ නැහැ. ඉනිමේ සිව් වැනි පන්දුවේ දී දුල්නිත් සිගේරා ලකුණු නොලබාම දැවී යන අතර දිමන්ත මහවිතාන ඉනිමේ 15 වැනි පන්දුවේ දී ලකුණු 2කට දැවී යනවා.
පළමු කඩුලු ද්විත්වය ඉතා ඉක්මනින් ඉනිම හැර ගිය ද සෙනුජ වැකුණගොඩ සහ විමත් දින්සර ප්‍රතිවාදී පන්දු යවන්නන්ට සිතූවක් කිරීමට 3 වැනි කඩුල්ලේ දී ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු ලකුණු 50, 67 වැනි පන්දුවේ දී වාර්තා කරන ලද අතර 100 වැනි ලකුණ 115 වැනි පන්දුවේ දී වාර්තා කරමින් ප්‍රතිවාදීන් පාලනය කරනවා.
ඒ ලෙසින් ප්‍රතිවාදීන් දැඩි ප්‍රහාරයකට ලක් කළ ඔවුන් දෙදෙනා 3 වැනි කඩුල්ලට පන්දු 172ක දී ලකුණු 143ක් එක් කරමින් ශ්‍රී ලංකාව වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ගන්නවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විමත් දින්සර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කඩුල්ලේ දී ද ශ්‍රී ලංකා ඉනිමට නැවත ශතක සබඳතාවක් එක් කරමින් ප්‍රතිවාදීන් තව තවත් අපහසුතාවට පත් කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා. එහි දී සෙනුජ වැකුණගොඩ නැවත පෙරමුණ ගන්නා ලද අතර ඊට උප නායක කවිජ ගමගේ එක් වෙමින් අගනා සහයෝගයක් ලබා දුන්නා.
- ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරගාවලිය අද සිට
- LPL 2026 ට පෙර Dambulla Sixers වෙතින් ශ්‍රී ලංකාවට ආදර්ශයක්
- ශ්‍රී ලංකා යෞවනයෝ 2-1කින් ඉන්දියාව පරාජය කරයි
- ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වෙයි
- ඉන්දීය යෞවනයෝ පළමු තරගය ජය ගනී
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 274ක් වෙද්දී ඔවුන්ගේ සබඳතාව බිඳ වැටෙන අතර ඊට ගොදුරු වෙන්නේ කවිජ ගමගේ. ඔහු සිව් වැනි කඩුල්ලට ඉනිම හැර යන විට පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 219ක දී ලකුණු 128ක සබඳතාවක් එක් කර තිබුණා.
ශ්‍රී ලංකා ඉනිමේ වීරයා වූ සෙනුජ වැකුණගොඩ තමන් මුහුණ දුන් 226 වැනි පන්දුවේ දී හතරේ පහරක් එල්ල කරමින් ද්විත්ව ශතකය ලබා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වෙද්දී පන්දු පන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 31ක් සමඟින් නොදැවී ලකුණු 203ක් ලබා සිටියා.
තරගය පළමු දිනයට අවසන් වෙද්දී ඔහුත් සමඟින් අනෙක් අන්තයේ රැඳී සිටි චාමික හීනටිගල පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 129කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 70ක සබඳතාවක් එක් කර තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී Kavya Paresh Patel ලකුණු 54කට කඩුලු 2ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Yashbardhan Chauhan සහ Pranav Ragavendra කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 344 (89.0)සෙනුජ වැකුණගොඩ නොදැවී 203, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල නොදැවී 33, Kavya Paresh Patel2/54
මෙම තරගය හෙට (14) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















