පාකිස්තානයෙන් ICCය වෙත අමුතු කොන්දේසි!

ICC Cricket World Cup 2023

4352

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත තරග අහ්මදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණයේ පවත්වනවාට PCBය විසින් සිය අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ මේ දිනවල ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී ඇති ගැටුම් තරමක් දුර දිග ගොස් ඇති අතර, එම ගැටලුව මෙවර ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් යම් බලපෑමක් එල්ල කරාවි ද යන සැකය දුරු කර ගැනීම සඳහා ICC සභාපති Greg Barclay සහ සාමාන්‍යාධිකාරී Geoff Allardice යන අය පසුගිය දා පාකිස්තානය වෙත ගොස් PCB සභාපති Najam Sethi මුණගැසී තිබුණා.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර සිදු කෙරුණු සාකච්ඡා පිළිබඳ PCB නියෝජිතයකු විසින් මෙසේ හෙළිදරව් කළා.

“Sethi විසින් Barclay සහ Allardice වෙත අවධාරණය කර තිබුණේ එය තරගාවලියේ අවසන් මහා තරගය වැනි තීරණාත්මක තරගයක් නොවේ නම් තමන්ට (පාකිස්තානයට) ඉන්දියාවේ අහ්මදාබාද් හිදි ක්‍රීඩා කිරීමට අවශ්‍ය නොවන බවයි.

ජාතික කණ්ඩායමට ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ඉන්දියාවේ සංචාරය කිරීමට පාකිස්තාන රජයෙන් අවසර ලැබෙයි නම් සිය කණ්ඩායමේ තරග බැංගලෝර්, චෙන්නායි සහ කොල්කටා ක්‍රීඩාංගණවල පැවැත්විය යුතු බව ඔහු (Sethi) විසින් ICC නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබෙනවා.”

අහ්මදාබාද් හි ආරක්ෂාව පිළිබඳ ඇති ගැටලුකාරී තත්වයක් ඔවුන්ගේ මෙම තීරණයට හේතු වී තිබෙනවා.

එමෙන්ම ඔවුන් වැඩි දුරටත් ICCයෙන් ඉල්ලා ඇත්තේ ආසියානු කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් තමන් යෝජනා කළ දෙමුහුන් ආකෘතියට ද BCCI වෙතින් එකඟතාව ලබා ගැනීමට සහය ලබා දෙන ලෙසයි.

එමෙන්ම ICCය වෙතින් යෝජනා වූ නවතම ආදායම් බෙදී යාමේ ආකෘතියෙන් තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බවත්, Sethi විසින් එම නියෝජිතයන්ට සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් BCCI සහ ICC නියෝජිතයින් මේ වන විට ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය නැරඹීමට ගොස් ඇති අතර, ඉදිරි දින කිහිපයේ දී ඔවුන් විසින් එළඹෙන ලෝක කුසලානය වෙනුවෙන් කාලසටහන සහ ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<