ටෙස්ට් ලෝක ශූරතාවට වැස්ස හරස් වුනොත්?

ICC World Test Championship 2023

345

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය හෙට (07) ආරම්භ වීමට නියමිතයි.

පළමු වරට ටෙස්ට් ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට නවසීලන්ත කණ්ඩායම (2019-21) සමත් වූ අතර, හෙට ආරම්භ වන තරගයෙන් දෙවැනි ටෙස්ට් ලෝක ශූරයින් (2021-23)  කවුරුන් ද යන වග තීරණය කිරීමට නියමිතයි.

නමුත් දින පහක් මුළුල්ලේ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වුවත් තරගය ජය පරාජයෙන් තොර ව නිමා වීමට යම් අවස්ථාවක් ඇති හෙයින් මෙය විස්සයි විස්ස හෝ එක්දින ලෝක ශූරයින් තෝරා ගනු ලබන අවසන් මහා තරගයක ස්වභාවයට වඩා තරමක් වෙනස් ස්වරූපයක් ගනු ඇති.

වර්ෂාව නිසා තරගයට බාධා එල්ල වීම හෝ තරගය දින පහක් පුරා පැවැත්වීමෙන් පසුවත් තීරණයක් රහිත වීමට ඉඩ ඇති නිසා එවන් අවස්ථාවක තීරණයක් ගැනීමට සිදු කර ඇති පෙර සූදානම කෙසේ දැයි විමසා බලමු.

අතිරේක දවසක්?

තරගය පැවැත්වීමට නියමිත පළමු දින හතර තුළ ම එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට තද හිරු රැස් පතිත වනු ඇති බව දැනට කාලගුණ අනාවැකි මගින් පවසා තිබෙනවා. නමුත් තරගයේ පස්වැනි දිනයේ දී අහස තරමක් වලාකුළින් බර වී තිබීමට ඉඩ ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ. එමෙන්ම එම දිනයේ හවස් වරුවේ දී යම් වර්ෂාවක් ඇති වීමටත් ඉඩ පවතින බවයි කාලගුණ අනාවැකි මගින් හෙළිදරව් වන්නේ.

මේ නිසා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තවත් අතිරේක දිනයක් ඒ වෙනුවෙන් වෙන් කර තැබීමට පියවර ගෙන ඇති අතර, මීට පෙර පැවැත්වුණු නවසීලන්ත – ඉන්දියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ද තරගයේ පළමු දිනය වර්ෂාවට හේදී යාම නිසා හය වැනි දිනය (අතිරේක දිනය) තෙක් තරගය පැවැත්වීමට සිදු වුනා.

තරගය පැවැත්වීමට නියමිත දින පහෙන් එකක් වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුවහොත් සහ දින පහ තුල තරගයේ තීරණයක් ලැබී නොතිබුණ හොත් මෙම අතිරේක දිනය භාවිතයට ගැනීමට අවස්ථාව හිමි වනවා.

තරගය සම වුනොත්? / ජය පරාජයෙන් තොර වුනොත්?

එමෙන්ම තරගය ජය පරාජයෙන් තොර ව අවසන් වුවහොත් හෝ සම වීමකින් අවසන් වුවහොත් ශූරතාව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර බෙදී යාමට නියමිතයි.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<