Kohliට Bradman හා සම තැන් ගන්න අවස්ථාවක්!

ICC World Test Championship 2023

2710
Virat kohli has a chance to surpass bradman & dravid

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli හට පිත්තෙන් සාර්ථක වීමට හැකි වුවහොත්, විශිෂ්ට ක්‍රිකට් වාර්තා කිහිපයක් ම සිය නම ඉදිරියෙන් ලියා ගැනීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඉන්දීය පිතිකරු Virat Kohli විසින් පසුගිය වසර කිහිපය මුළුල්ලේ ම ගෙවා දැමුවේ එතරම් ම සුබදායී කාලයක් නම් නෙවෙයි. වාර්තා පිට වාර්තා තබමින්, ශතක පිට ශතක වාර්තා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දිදුලමින් සිටි Kohli හට ජාත්‍යන්තර ක්‍රිකට් ශතකයක් නොමැතිව දින 1000කට අධික කාලයක් බලා සිටීමට සිදු වූ අතර, පසුගිය වසරේ ආසියානු කුසලානයේ දී ඔහු විසින් ඇෆ්ගනිස්තානය හමුවේ සිය ශතක ඉඩෝරයට තිත තැබීමට සමත් වුනා.

එතැනින් පසු ඔහු නැවතත් ක්‍රමයෙන් සිය සාර්ථක පිතිකරණ රටාවට පිවිසීමට සමත් වූ අතර, නිමා වූ IPL තරගාවලියේ දී ද ඔහු පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට  සමත් වුනේ පිට පිට ම විස්සයි විස්ස ශතක දෙකක් ම සිය ශතක මල්ලට එක් කර ගනිමිනුයි.

ඒ අනුව ඔහු විසින් ප්‍රවිෂ්ට වී සිටින මේ සාර්ථක කාලසමය තුල තවදුරටත් පිත්තෙන් දස්කම් දක්වනු ඇති බව අනුමාන කළ හැකි. එමෙන්ම ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය හෙට (7) දිනයෙන් ආරම්භ වීමට නියමිතයි. අවිවාදයෙන් ම මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති අතර, මෙවැනි අවස්ථා වෙනුවෙන් ම සූදානම් ව සිටින Kohli හට ද සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට එය මහඟු අවස්ථාවක් වනු ඇති.

එමෙන්ම හෙටින් ආරම්භ වන තරගයේ දී Kohliහට සාර්ථක වීමට අවස්ථාවක් උදා වුවහොත් තවත් විශේෂ වාර්තා කිහිපයක් ම තමන්ගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට ද ඔහුට අවස්ථාවක් උදා වී තිබෙනවා.

Bradman හා සම වීම

එංගලන්තයේ Oval ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත මෙම තරගයේ දී Kohli විසින් ශතකයක් රැස් කිරීමට සමත් වුවහොත් එය ඔහුගේ 29 වැනි ටෙස්ට් ශතකය වනු ඇති අතර, ඒත් සමඟින් ඔහුට හිටපු ශ්‍රේෂ්ඨ පිතිකරු Don Bradmanගේ ජාත්‍යන්තර ටෙස්ට් ශතක ප්‍රමාණය සම කිරීමට අවස්ථාව උදා වනවා.

එමෙන්ම දැනට ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින පිතිකරුවන් අතරින් වැඩි ම ටෙස්ට් ශතකලාභී ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වීමටත් (පළමු ස්ථානය ටෙස්ට් ශතක 30 රැස් කර ගෙන සිටින Steve Smith හට හිමි වී තිබෙනවා) ඔහුට අවස්ථාව හිමි වනවා. මේ වන විට එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ ශතක 29ක් ලබා ඇති Joe Root විසිනුයි.

Dravidව අබිබවා යෑම

මේ අතර ඉන්දියානු පිතිකරුවන් අතරින් දැනට ඕස්ට්‍රේලියාවට එරෙහිව තෙවැනියට වැඩි ම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන සිටින්නේ (2166) වත්මන් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Rahul Dravid විසිනුයි.

නමුත් හෙටින් ඇරඹෙන තරගයේ දී Kohli විසින් ලකුණු 188ක් හෝ ඊට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගත හොත් David සතු වාර්තාව Kohliගේ නම ඉදිරියෙන් ලියැවෙනු ඇති. මේ වන විට Virat Kohli විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම් 24කින් ලකුණු 1979ක් වාර්තා කිරීමට සමත් වී සිටින්නේ 48.26ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතවයි.

මේ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ලකුණු 3630ක් ලබා ගෙන ඇති Sachin Tendulkar විසින් මෙම ලැයිස්තුවේ (ඉන්දීය පිතිකරු ලැයිස්‍තුවේ) ප්‍රථම ස්ථානය හිමි කර ගෙන සිටිනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර ද සචින් දෙවැනි ස්ථානයේ පසු වීම විශේෂත්වයක්.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ලකුණු 2434ක් ලබා ගෙන ඇති VVS Laxman විසින් ඉන්දීය පිතිකරු ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

එමෙන්ම මෙම තරගයේ දී ලකුණු 170 සීමාව පසු කර යෑමට Kohli විසින් සමත් වුවහොත් ඔහුට වැඩි ම ටෙස්ට් ලකුණු ලාභී ඉන්දීය පිතිකරු ලැයිස්තුවේ 5 වැනි ස්ථානය තෙක් ඉදිරියට ඒමට ද (Virender Sehwag පසු කරමින්) අවස්ථාව හිමි වී තිබෙනවා.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<