ඒ ජයග්‍රහණය අපේ සැලසුම් නිවැරදි බව තහවුරු කළා – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

388

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති එක්දින තරගාවලිය පසුගිය දා නිමා වූයේ බංග්ලාදේශ කණ්ඩායමට තරගාවලි ජයක් හිමිකර දෙමින්.

තරගාවලියේ පළමු තරග දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වූ අතර තුන්වැනි තරගය ලකුණු 97කින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුනා. 

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සහභාගී නොවූ අතර ඒ වෙනුවට නවක අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සහභාගී වීම විශේෂත්වයක්. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයමේ නායකත්වය සහ උපනායකත්වය ද වෙනස් වී තිබුණා. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තම කමිටුවේ මූලික ඉලක්කය 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායමක් සකස් කිරීම බවයි. තරගාවලියේ මුල් තරග පරාජය වීමත් සමඟින් එම කමිටුවට චෝදනා සහ විවේචන රැසක් එල්ල වුනා. 

පසුගිය දා Daily News පුවත්පත සමඟින් සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියේ බංග්ලාදේශ තරගාවලිය පරාජය වුව ද අවසන් තරගය ජයග්‍රහණය කිරීම තම කමිටුවේ සැලසුම් නිවැරදි බව තහවුරු කිරීමට සමත් වූ බවයි. නවක ක්‍රීඩකයන් කෙරෙහි තමන් තැබූ විශ්වාසය නිවැරදි ලෙස ක්‍රියා කළ බව ද ඒ මහතා පවසා සිටියා.

“අපි අවසන් තරගයට නවක ක්‍රීඩකයන් තුන්දෙනෙක් යොදාගත්තා. අපි අවසන් තරගය පරාජය වුනා නම් ගොඩක් අය ඒකට තේරීම් කමිටුවට චෝදනා එල්ල කරන්න ඉඩ තිබුණා. අපි අපේ සැලසුම් ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නේ. අපි හැමවෙලේම අපිට ඉන්න තරුණ ක්‍රීඩකයන් ගැන අවධානය යොමු කරලා තියනවා. අපේ මූලික අරමුණ 2023 ලෝක කුසලාන තරගාවලිය. ඒකට කිසිම වෙලාවක ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අමතක කරන්න අපි සූදානම් නැහැ” ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

එමෙන්ම තරුණ ක්‍රීඩකයන් අනාගතයට ගැළපෙන පරිදි සූදානම් කිරීම සඳහා ඔවුන්ට තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම ද ඒ මහතා මෙහි දී අවධාරණය කර සිටියා.

“අපිට ඕනේ මේ තරුණ ක්‍රීඩකයන්ට තරග පුහුණුව ලබා දෙන්න. තරග පුහුණුව නැතුව ඔවුන්ට කිසිම අත්දැකීමක් ලබාගන්න බැහැ. අපිට පැහැදිලි දැක්මක් තියනවා. අපි ඒ ඉලක්ක සපුරා ගන්න ලොකු අධිෂ්ඨානයකින් ඉන්නවා. අපේ සැලසුම්වලට කිසිම කෙනෙක් බලපෑම් නොකරන තුරු ඒ ඉලක්ක සපුරාගන්න අපිට හැකියාවක් තියනවා.” 

“අපි බංග්ලාදේශ තරගාවලිය සඳහා යොදාගත්තේ වත්මන් ක්‍රීඩකයන්ගෙන් අපිට ඉන්න හොඳම අස්වැන්න. අපි කවදාහරි ඔවුන්ට ක්‍රීඩා කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. කවුරු හරි ඒක කරන්න ඕනේ. එහෙම නොකර අපිට අනාගතයක් ගැන හිතන්න බැහැ. අපේ මූලික ඉලක්කය 2023 ලෝක කුසලානය” වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී එංගලන්ත සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය පසුගිය දා නම් කෙරුණා. මේ කණ්ඩායම සඳහා ද ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සහභාගී වන්නේ නැහැ. තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතය ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියක් ආසන්නයේ පවතින මෙවන් කාලසීමාවක් තුළ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව තරගාවලියක් සඳහා සහභාගී වීම එතරම් සුදුසු නොවන බවත්, එමඟින් කණ්ඩායමේ දක්ශතාවයට සහ මානසිකත්වයට බලපෑමක් එල්ල විය හැකි බවත් හිටපු ශ්‍රී ලංකා නායකයන් වන සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ශාන් පසුගිය දා පවසා තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<