භානුකගේ වාග් ප්‍රහාරවලට පුහුණුකරුගෙන් පිළිතුරු

348

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ එක්තරා සාකච්ඡාවක් සඳහා එකතු වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් තමා හට අහිමි වීම ගැන සිය අප්‍රසාදය පළ කර තිබුණා.

ශාරීරික යෝග්‍යතා ගැටලුවක් හේතුවෙන් තමා කණ්ඩායමෙන් ඉවත් කර තිබෙන බව පැවසූ භානුක බලධාරීන්ගේ නොගැලපෙන ප්‍රතිපත්ති පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර සිටියා. 

එසේම එහි දී ඔහු එංගලන්ත සංචාරයේ මූලික සංචිතයටවත් ඇතුළත් නොවීම ගැන තේරීම් කමිටුව වෙත චෝදනා කර තිබුණා. එමෙන්ම ක්‍රීඩකයන් වෙත ඉදිරිපත් කළ ක්‍රොන්ත්‍රාත් ගිවිසුමත් අසාධාරණ බවත් ඔහු පෙන්වා දුන්නා.

තවත් ක්‍රිකට් පුවත්:

ඊට පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Mickey Arthur මහතා The Island පුවත් පත සමඟ පැවති සාකච්ඡාවක දී පවසා සිටියේ,

“භානුක කියන්නේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එකේ ආයිත් කිසිම රහසක් නැහැ. හැබැයි ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ යම් යම් අඩුපාඩු තිබෙන නිසයි අපි ඔහුව කණ්ඩායමට තෝරාගත්තේ නැත්තේ. ඒ වගේම ඔහු වේගයෙන් පන්දුවට පහරදිය හැකි දක්ෂ පිතිකරුවෙක් වුවත් ඔහුගේ පන්දු රැකීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු මට්ටමක කොහෙත්ම නැහැ.”

“ශරීර ප්‍රමාණය අඩු කරගන්නට භානුකට තිබුණ නිදහසට කරුණ තමයි ඔහු චොකලට් කන්න කැමතියි කියන එක. ඒක ගැටලුවක් නැහැ. ඒත් ඔබට හොඳ ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ නම් ඔබට ඔබගේ ජීවිතයේ යම් යම් කැපකිරීම් කරන්නට වෙනවා, භානුක ස්කින් ෆෝල්ඩ් (skinfold) පරීක්ෂණය අසමත් වෙලා ගෙදර ගියා. ඊට පස්සේ ඔහු අනෙක් පරීක්ෂණ වලට සහභාගී වුනෙත් නැහැ” යැයි Mickey Arthur වැඩිදුරටත් පැවසුවා.

“ඒත් කුසල් ජනිත් බලන්න. එයා තමන්ගේ skinfold එක 15%කින් අඩුකරගෙන තිබුණා. එදා ඩකාවල (බංගලාදේශ සංචාරය) තිබුණු දැඩි උණුසුම් කාලගුණයත් එක්ක ලකුණු සීයක් අරන් තරගය ජයග්‍රහණය කරවන්නට ඔහුට පුළුවන් වුනා. ඒත් කුසල් නිවැරදි ශාරීරික යෝග්‍යතාවයක හිටියේ නැත්නම් උපරිම ලකුණු 60ක් ගහල දැවී යන්න ඉඩ තිබුණා” යැයි එහි දී Mickey Arthur පවසා සිටියා.

ඕනෑම ක්‍රීඩකයෙක්ට යම් තැනකට එන්න යම් යම් කැප කිරීම් කරන්නට සිදු වන බවත්, එය අපහසුවෙන් හෝ සිදු කර ඒ ස්ථානයට පැමිණිය යුතු බවත්, ඒ සඳහා ඒ ඒ ක්‍රීඩකයින්ගේ උනන්දුව, කැපවීම සහ මහන්සිය ඉතාමත් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් එහි දී පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<