එංගලන්තයට යන මූලික සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලිය 2021

314

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතය අද (30) නම් කෙරුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි- ජූලි මාසවල දී එංගලන්ත සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර එයට විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය බංග්ලාදේශ සංචාරය නිමා කිරීමෙන් අනතුරුව අද දිනයේ දී විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා. එම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් වුනා.

කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලු ක්‍රීඩකයන් දින තුනක් නිරෝධායනයට ලක්කිරීමට නියමිතයි. ඒ අනුව ක්‍රීඩකයන් සියලු දෙන කොළඹ Taj Samudra හෝටලය තුළ දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන යටතේ නිරෝධායනය සඳහා යොමුව තිබෙනවා. 

නියමිත නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කණ්ඩායම සෙසු සංචිතය සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

නම් කළ මූලික සංචිතය සඳහා ක්‍රීඩකයන් 28 දෙනෙකු ඇතුළත් වන අතර ජුනි මුල් සතියේ දී තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතය තෝරාගැනීමට නියමිතයි. එයට ක්‍රීඩකයන් 22ක් ඇතුළත් වනු ඇත. ඉන් අනතුරුව කණ්ඩායම ජුනි දෙවන සතියේ දී විශේෂ ගුවන් යානයකින් එංගලන්තය බලා යාමට නියමිතයි.

ශ්‍රී ලංකා එංගලන්ත විස්සයි විස්ස තරගාවලිය ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර කණ්ඩායම අන්තර් සංචිත පුහුණු තරග දෙකක් සඳහා සහභාගී වනු ඇත. විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා. එංගලන්ත කණ්ඩායම වත්මන් ලෝක ශූර කණ්ඩායම වන අතර මෙම එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට අදාලව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරගාවලිය සඳහා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සහභාගී වුනේ නැහැ. කෙසේ වෙතත් අද නම් කළ මෙම මූලික ශ්‍රී ලංකා සංචිතය සඳහා ද ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනෙකු ඇතුළත් වන්නේ නැහැ.

බංග්ලාදේශ තරගාවලිය සඳහා සහභාගී නොවූ සධීර සමරවික්‍රම, චරිත් අසලංක, කමිල් මිශාර, ධනංජය ලක්ශාන්, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත වැනි ක්‍රීඩකයන් කීපදෙනෙකු අද නම් කළ මූලික සංචිතය සඳහා ඇතුළත් වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ පන්දු යවන්නෙකු වන නුවන් ප්‍රදීප් ද මෙම සංචිතය සඳහා නම් කර තිබීම විශේෂත්වයක්.

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්ත තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතය: කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, කමිල් මිශාර, නිරෝශන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ලක්ශාන්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ශාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, දුශ්මන්ත චමීර, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ශිරාන් ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ඉශාන් ජයරත්න

ශ්‍රී ලංකා එංගලන්ත තරග කාලසටහන 

  • පළමු විස්සයි විස්ස තරගය – ජුනි 23 වැනිදා Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 24 වැනිදා Cardiff හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 11)
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජුනි 26 වැනිදා Southampton හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7)
  • පළමු එක්දින තරගය – ජුනි 29 වැනිදා Durham හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)
  • දෙවන එක්දින තරගය – ජූලි 01 වැනිදා London හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30)
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 04 වැනිදා Bristol හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<