IPL බලන්න ප්‍රේක්ෂකයින්ට වරම් ලැබෙන ලකුණු

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

191

කොරෝනා වයිරසයේ බලපෑම නිසාවෙන් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමැද නවතා දැමීමට සිදු වුණු අතර තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී (UAE) පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානමි කරමින් තිබෙන බව වාර්තා වනවා.

එසේම ඉතිරි තරග සඳහා ප්‍රේක්ෂකයින් සහභාගී කර ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ සහ IPL තරග සංවිධායකයින්ගේ අවධානයට යොමුව තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තිබෙන වත්මන් තත්වය සැලකිල්ලට ගනිමිනි. 

එරට රජය විසින් ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රේක්ෂකයින් ගෙන්වා ගැනීමේ සීමා මේ වන විට ලිහිල් කර තිබෙන අතර COVID-19 වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය සඳහා ලබා දෙන එන්නත්කරණ වැඩපිළිවෙළේ දැනට ඉදිරියෙන්ම සිටින රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ රටේ බහුතර ජනතාවක් මේ වන විට එන්නත්කරණ කර අවසන්ව තිබීම ද මෙයට තවත් හේතුවක්.

තවත් ක්‍රිකට් පුවත්

“අදාළ ක්‍රීඩාංගණයේ උපරිම ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක ප්‍රේක්ෂක ප්‍රමාණයක් තරගාවලිය සහභාගී කරගන්න සූදානමින් සිටිනවා හැබැයි ඒ සියලු දෙනාම COVID-19 වයිරසය සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන තියෙන්න ඕනේ” යැයි එක්සත් අරාබි ක්‍රිකට් පරිපාලනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් Cricbuzz වෙබ් අඩවියට පවසා තිබෙනවා.

එක්සත් අරාබි එමීරි රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාමට සහ ඉන්දියාවේ සිට එක්සත් අරාබි එමීරි රාජ්‍යයට පැමිණීමේ දී දැනට යම් තහනමක් තිබෙන නමුත් විශේෂ අවසරයක් මත ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක් විශේෂ ගුවන් යානයකින් ඊයේ (31) රාත්‍රියේ දී ඩුබායි නුවරට ළඟා වී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය වසරේ දී IPL සඳහා සම්පූර්ණ සත්කාරකත්වය ලබා දී තිබෙන නිසා ඔවුන්ට ඉතිරි තරග ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අත්දැකීම් තිබෙනවා. 

ඒ අනුව සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා යන කාලවකවානුව තුල 2021 IPL තරගාවලියේ ඉතිරි තරග පවත්වා අවසන් කිරීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

තවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ හමුවක් අද (1) අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන අතර එහි දී 2023-31 ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහන (FTP), ICC ප්‍රධාන පෙළේ තරගාවලි පවත්වන ආකාරය, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට හැකි ද, නැතිනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පවත්වනවා ද ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධ තීරණ රැසක් ගැනීමට නියමිතව තිබෙන බව ද වාර්තා වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<