තේරීම් කමිටුවේ අලුත් තීරණ ගැන ජයසූරිය සහ ඩිල්ශාන් අසතුටෙන්

374

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් විවේක ගන්වා නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරි තරගාවලි සඳහා යොදාගැනීමට ගත් තීරණය බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණා. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායකයන් වන සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ශාන් තමන් එම තීරණය හා එකඟ නොවන බව පවසා සිටියා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මූලික සංචිතය ඊයේ නම් කෙරුණා. පසුගිය දා නිමා වූ බංග්ලාදේශ තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් සහභාගී නොවු අතර එළඹෙන එංගලන්ත තරගාවලිය සඳහා ද ඔවුන් නම් කර නැහැ. 

සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ශාන් මේ සම්බන්ධයෙන් එකඟ නොවන බව පසුගිය දා පවසා සිටියා. ජ්‍යේෂ්ඨයන් නොමැතිව එංගලන්ත තරගාවලියක් සඳහා සහභාගී වීම කාලෝචිත නොවන බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.

එහි දී අදහස් දක්වමින් ඔවුන් දෙදෙනාම පවසා සිටියේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිත කාලයක් තුළ ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමෙන් ඉවත් කර සම්පූර්ණයෙන්ම නවක අත්දැකීම් අඩු ක්‍රීඩකයන් කණ්ඩායමට එක්කර ගැනීම සුදුසු නොවන බවයි.

තවත් ක්‍රිකට් පුවත්: 

එහි දී තිලකරත්න ඩිල්ශාන් පවසා සිටියේ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන් සහ නවක ක්‍රීඩකයන් සමබරව පවත්වා ගත යුතු බවයි. මේ නිසා තේරීම් කමිටුව අවම වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් හා ලහිරු තිරිමාන්න කණ්ඩායමට එක්කරගත යුතු බව ඔහු පවසා සිටියා.

සනත් ජයසූරිය ද ඩිල්ශාන්ගේ එම මතයට එකඟ වූ අතර ඔහු තවදුරටත් පවසා සිටියේ කණ්ඩායමට මෙවන් හදිසි වෙනස්කම් සිදු කිරීම එතරම් සුදුසු නොවන බවයි. එමඟින් කණ්ඩායමේ සමස්ත දක්ෂතාවය විශාල වශයෙන් අඩු විය හැකි බව ද ඔහු පවසා සිටියා.

සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ශාන් මේ බව පවසා සිටියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පැවති Late Night Chat Show නම් වැඩසටහන සමඟින් එක්වෙමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය සඳහා එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වනවා. තරගාවලිය ජුනි 23 සිට ජූලි 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතය ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<