මෙක්සිකෝව ලෝක කුසලානයේ Round 32 සඳහා සුදුසුකම් ලැබූ පළමු රට බවට පත් වෙයි!

FIFA 2026

2
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 08 වැනි දිනය අද (19) නිමාවට පත් වුනා.

තරගාවලියේ 08 වැනි දිනයට අදාළ ව තරග හතරක් ක්‍රියාත්මක වූ අතර, එම තරග ඊයේ (18) රාත්‍රියේ සිට අද උදෑසන දක්වා කාලය තුළයි ක්‍රියාත්මක වුනේ.

චෙක් ජනරජය සහ දකුණු අප්‍රිකාව

ඉතා උණුසුම් තරගයක් ලෙස මෙය ක්‍රියාත්මක වුනා. තරගයේ 06 වැනි මිනිත්තුවේ දී චෙක් වෙනුවෙන් Michal Sadilek විසින් ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව දකුණු අප්‍රිකාව විසින් නැවත තරගය සම තත්වයට රැගෙන ඒමට දැඩි උත්සාහයක යෙදුණා. තරගයේ 83 වැනි මිනිත්තුවේ දී දකුණු අප්‍රිකාවට දඬුවම් පහරක් හිමි වීමත් සමඟ ඔවුන්ගේ එම බලාපොරොත්තු ඉටු වූ අතර, ඒ අනුව තරගය 1-1ක් ලෙස සම මට්ටමින් නිමාවට පත් වුනා.

මෙහි දී චෙක් කණ්ඩායම විසින් ලබා ගත් ගෝලය මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ වේගවත් ම (තරගය ආරම්භ වීමෙන් පසුව ඉක්මනින් ම වාර්තා වූ ගෝලය) ගෝලය ලෙස සටහන් වුනා.

ස්විස්ටර්ලන්තය සහ බොස්නියාව

මෙම තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ ද අඩක් අවසන් වීමෙන් පසුව තරගය උඩු යටිකුරු වීම ආරම්භ වුනා. ස්විස්ටර්ලන්තය තම පළමු ගෝලය තරගයේ 74 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ අතර, ඉන් පසුව තරගයේ 80 වැනි මිනිත්තුවේ දී බොස්නියා ක්‍රීඩක Tarik Muharemovic හට රතු කාඩ් පතක් නිකුත් වුනා. එතැන් පටන් බොස්නියාව එක් ක්‍රීඩකයකු අඩුව තරගයට සහභාගී වූ අතර, ස්විස්ටර්ලන්තය විසින් තරගයේ 84, 90 සහ 90+7 යන මිනිත්තු වල දී තවත් ගෝල වාර්තා කළා. එමෙන්ම බොස්නියාව ද තරගයේ 90+3 මිනිත්තුවේ දී තම කණ්ඩායමේ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා.

මෙම තරගය පැවැත්වුණු අවසන් මිනිත්තු 23ක කාලය තුළ ගෝල පහක් මෙන්ම එක් රතු කාඩ් පතක් ද වාර්තා වීම විශේෂත්වයක්.

මෙහි දී ස්විස්ටර්ලන්තය වෙනුවෙන් Joan Manzambi විසින් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහු එම ගෝල ද්විත්වයම වාර්තා කළේ Substitute ක්‍රීඩකයකු ලෙස පිටියට පැමිණෙමිනුයි. ලෝක කුසලානයක Substitute ක්‍රීඩකයකු ලෙස පැමිණ ගෝල ද්විත්වයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා අතරට එක් වුනා.

එමෙන්ම මෙම තරගයේ වාර්තා වූ ගෝල 05න් හතරක් ම Substitute ක්‍රීඩකයින් විසින් වාර්තා කිරීමට සමත් වූ අතර, එය

ලෝක කුසලානයක Substitute ක්‍රීඩකයින් විසින් වාර්තා කළ දෙවැනි වැඩිම ගෝල ප්‍රමාණයයි.

කැනඩාව සහ කටාර්

මෙම තරගයේ දී සත්කාරක කැනඩාව විසින් කටාර් දේශයට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් ගෝල 6-0ක ජයක් වාර්තා කිරීමට සමත් වුනා. මෙහි දී කැනඩාව වෙනුවෙන් Jonathan David විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, කටාර් රාජ්‍යය විසින් තරගයේ 33 වැනි 53 වැනි මිනිත්තුවල දී රතු කාඩ් පත් දෙකක් ලබා ගැනීම ද විශේෂත්වයක්. එමෙන්ම ඔහු තරගයේ 75 වැනි මිනිත්තුවේ දී කැනඩාවට Own Goal එකක් ද ලබා දුන්නා.

මේත් සමඟම ලෝක කුසලාන තරගයක එක් ගෝලයකට වඩා ලබා ගත් පළමු කැනඩා ක්‍රීඩකයා ලෙස David වාර්තා අතරට එක් වුනා. එමෙන්ම CONCACAF ක්‍රීඩකයකු විසින් ලෝක කුසලානයක දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වන්නේ වසර 96කට පසුව වීමත් විශේෂත්වයක්.

එමෙන්ම මෙය කැනඩාවේ පළමු ලෝක කුසලාන ජය ලෙස ද වාර්තා අතරට එක් වුනා. එමෙන්ම මෙය ඔවුන්ගේ 08 වැනි ලෝක කුසලාන තරගය ලෙසයි වාර්තා වුනේ. එමෙන්ම එම තරග සියල්ල තුළ කැනඩාව වාර්තා කිරීමට සමත් වී තිබුණේ ද ගෝල ත්‍රිත්වයක් පමණයි.

මෙක්සිකෝව සහ දකුණු කොරියාව

මෙම තරගයේ දී මෙක්සිකෝව විසින් දකුණු කොරියාවට එරෙහිව ගෝල 1-0ක් ලෙස විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් වුනා.

දෙරට අතර ඉතා උණුසුම් කරට කර තරගයක් පැවැත්වුණු අතර, තරගයේ 50 වැනි මිනිත්තුවේ දී මෙක්සිකෝව වෙනුවෙන් තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට Luis Romo විසින් සමත් වුනා.

මෙම ජයත් සමඟම මෙක්සිකෝව විසින් 2026 පාපන්දු ලෝක කුසලානයේ 32 වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වීමට සමත් වුනා.

කෙසේ වෙතත් මෙම පරාජය නිසා දකුණු කොරියාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අවසන් වන්නේ නැහැ. ඔවුන් තවමත් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට පෙරමුණේ පසු වන කණ්ඩායමක් ලෙස රැඳී සිටිනවා.

තරගාවලියේ 09 වැනි දිනයේ තරග හෙට අලුයම සිට ආරම්භ වීමට නියමිතයි.

  • අලුයම 12.30 – ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව
  • උදෑසන 3.30 – ස්කොට්ලන්තය සහ මොරොක්කෝව
  • උදෑසන 6.00 – බ්‍රසීලය සහ හයිටි
  • උදෑසන 8.30 – තුර්කිය සහ පැරගුවේ

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<