අගනුවර ක්‍රීඩකයෝ ලකුණු 210ක් පිටුපසින්

National Super League 4-Day Tournament 2026

5
National Super League 4-Day Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය (4) අඩු ලකුණුවලට සීමා වෙමින් අවසන් වූවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 222ක් ලබා සිටිය දී ඉනිම අත් හිටුවනවා.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 12ක් පමණයි.

>>දඹුල්ලත් – කොළඹත් ගැටෙන NSL අවසන් මහා තරගය<<

දඹුල්ල කණ්ඩායම

ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, විශාද් රන්දික, සොනාල් දිනූෂ, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), කවිඳු පතිරත්න, අකිල දනංජය, නිසල අබේරත්න සහ මොහමඩ් ශිරාස්.

කොළඹ කණ්ඩායම

චරිත් අසලංක (නායක), රවිඳු රසාන්ත, ධනංජය ලක්ෂාන්, ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු, ශාරුජන් ශන්මුගනාදන් (කඩුලු රකින්නා), කවිජ ගමගේ, දුශාන් හේමන්ත, ජනිත් ලියනගේ, ප්‍රමෝද් මදුවන්ත සහ චමෝද් බට්ටගේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයන්ගේ ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූයේ නිශාන් මදුශ්ක සහ  ලසිත් කෲස්පුල්ලේ. ඔවුන් දෙදෙනාට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 25ක් පමණයි. ලසිත් කෲස්පුල්ලේ පන්දු 23ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

ඔහුගේ දැවී යෑමෙන් ව අනතුරු ව දඹුලු ඉනිමට තවත් ලකුණු 8ක් එක් වෙද්දී නිශාන් මදුශ්ක (9) ද දැවී යනවා.

අනතුරු ව 3 වැනි කඩුල්ලට එක් වූ පවන් රත්නායක සහ නායක ධනංජය ද සිල්වා පන්දු 73ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරමින් දඹුලු ඉනිමේ ලකුණු පුවරුව තරමක් තර කළා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ධනංජය ද සිල්වා පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15කට දැවී යෑමත් සමඟිනුයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පසු පන්දුවාරයේ දී පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටි පවන් රත්නායක ද දැවී යනවා.

එම දැවී යෑමෙන් අනතුරු ව දඹුලු ඉනිමට ලකුණු වසන්තය උදා වෙනවා. ඒ විශාද් රන්දික, සොනාල් දිනූෂ සහ අංජල බණ්ඩාර එක් ව ගොඩ නැගූ ඉනිම් හේතුවෙනුයි. එහි දී පළමුවෙන් ම එක් වූ විශාද් රන්දික සහ සොනාල් දිනූෂ 5 වැනි කඩුල්ලට පන්දු 117ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කරනවා.

විශාද් රන්දික පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා. අනතුරු ව පිටියට එක් වෙන්නේ අංජල බණ්ඩාර.

සොනාල් දිනූෂ සහ අංජල බණ්ඩාර 6 වැනි කඩුල්ලට පන්දු 107ක දී ලකුණු 53ක සබඳතාවක් එක් කරනවා. එය දඹුලු ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූ අතර එය බිඳී යන්නේ සොනාල් දිනූෂ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටි අතර එය දඹුලු ඉනිමේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු ප්‍රමාණය ද වූවා.

අංජල බණ්ඩාර ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා. ඊට අමතර ව කවිඳු පතිරත්න (5) සහ නිසල අබේරත්න (4) අඩු ලකුණුවලට දැවී ගිය අතර ඉනිම අත් හිටුවන විට අකිල දනංජය නොදැවී ලකුණු 8ක් ද සහ මොහොමඩ් ශිරාස් නොදැවී ලකුණු 7ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 54කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ජනිත් ලියනගේ සහ ධනංජය ලක්ෂාන් කඩුලු ද්විත්වය බැගින් ද සහ ප්‍රමෝද් මදුශාන් කඩුල්ලක් ද දවා ගත්තා.

අගනුවර ක්‍රීඩකයන්ගේ පිළිතුරු ඉනිම ආරම්භ කිරීම සඳහා පිටියට පිවිසෙන්නේ රවිඳු රසාන්ත සහ ධනංජය ලක්ෂාන්. ඔවුන් දෙදෙනාගේ සබඳතාව පන්දු 10ක එක් ලකුණකට පමණක් සීමා කිරීමට කවිඳු පතිරත්න සහ අංජල බණ්ඩාර සමත් වෙනවා. එම පන්දු 10ට ම මුහුණ දුන් රවිඳු රසාන්ත (1) ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී යන අතර ඊට පසුව යැවුණ 3 වැනි පන්දුවේ දී ධනංජය ලක්ෂාන් තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙනවා.

වැටි තිබූ අසීරු තත්ත්වය හමුවේ ඔවුන්ට තරමක අස්වැසිල්ලක් වන්නේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයයි. පැවැති එම තත්ත්වය හමුවේ තරගයේ පළමු දිනයේ පන්දුවාර 14ක් අහිමි කෙරෙමින් තරගය එදිනට නතර වෙනවා.

ඒ වෙද්දී කොළඹ ඉනිමේ 6 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වූ අතර තරගය පළමු දිනයට නතර කරද්දී ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 9ක් සහ නුවනිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කවිඳු පතිරත්නට එක් කඩුල්ලක් හිමි වෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දඹුල්ල – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 222 (70.0) පවන් රත්නායක 39, විශාද් රන්දික 23, සොනාල් දිනූෂ 51, අංජල බණ්ඩාර 40, ධනංජය ලක්ෂාන් 2/42, ජනිත් ලියනගේ 2/18, ප්‍රභාත් ජයසූරිය 4/54

 

කොළඹ – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 12 (5.3)

කොළඹ කණ්ඩායම ලකුණු 210ක් පිටුපසින්.

මෙම තරගයට අද (5) 2 වැනි දිනයට පැවැත්වේ.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<