දඹුල්ලත් – කොළඹත් ගැටෙන NSL අවසන් මහා තරගය

NATIONAL SUPER LEAGUE 4-DAY TOURNAMENT 2026

1
NATIONAL SUPER LEAGUE 4-DAY TOURNAMENT 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන NATIONAL SUPER LEAGUE සිව් දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය හෙට (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සඳහා ධනංජය ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සහ චරිත් අසලංක ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

දඹුල්ල කණ්ඩායම මීට පෙර ද මෙම තරග මාලාවේ 2023 සහ 2025 වසර ද්විත්වයේ ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඉන් 2023 වසරේ ශූරයන් ලෙසත් සහ නිමා වූ 2025 වසරේ දී ගාල්ල කණ්ඩායම හමුවේ අනුශූරතාවත් හිමි කර ගත් කණ්ඩායම බවට පත් වුණා.

අගනුවර ක්‍රීඩකයෝ මෙම තරගමාලාවේ අවසන් මහා තරගයක් සඳහා එක් වූ පළමු අවස්ථාව මෙයයි.

>>නිසල අබේරත්න හොදම පන්දු යැවීම වාර්තා කරයි

තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව

  TEAMS MAT WON LOST TIED DRAWN N/R POINTS
1 දඹුල්ල 3 1 0 0 2 0 36.94
2 කොළඹ 3 0 0 0 3 0 19.168
3 ගාල්ල 3 0 1 0 2 0 15.683
4 මහනුවර 3 0 0 0 3 0 4.393

තරගාවලියේ පළමු වටයේ තරග පසුගියදා අවසන් වූ අතර එහි අවසන් සතිය වෙද්දී ද මෙම කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයේ ආසන වෙන්කර ගෙන සිටියා. ඒ අතුරින් දඹුල්ල කණ්ඩායම වඩාත් කැපී පෙණෙන කණ්ඩායම බවට පත් වුණා. ඒ ඔවුන් තරගාවලියේ එක ම ජයග්‍රහණය වාර්තා කළ කණ්ඩායම බවට පත් වීම හේතුවෙනුයි.

ඔවුන් මෙම තරගාවලියේ එම විශේෂණත්ව නාමය ලබා ගන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 41ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමත් සමඟිනුයි.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් මෙම කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ පළමු වටයේ දී හමු වූ අතර එම තරගය නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි. එසේ වූවත් පළමු ඉනිම ජයග්‍රහණය කළ දඹුලු ක්‍රීඩකයෝ එහි වැඩි ප්‍රසාද ලකුණු ලබා ගැනීමට සමත් වූවා.

දඹුල්ල කණ්ඩායම

දඹුල්ල කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ එක ම අපරාජිත කණ්ඩායම ලෙසයි. ඔවුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ ගාල්ලට එරෙහි ව ලත් ජයග්‍රහණයත් සහ කොළඹ සහ මහනුවර කණඩායම්වලට එරෙහි ව ලත් පළමු ඉනිමේ ජයග්‍රහණත් සමඟිනුයි.

එලෙසින් තරගාවලියේ පළමු වටය නිමා කළ මෙම කණ්ඩායමේ ශතකලාභීන් 5 දෙනෙක් සහ තරගාවලියේ මෙතෙක් වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා ද සිටීම විශේෂත්වයක්.

දඹුලු කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණුලාභී ක්‍රීඩකයා වෙන්නේ තවමත් 21 හැවිරිදි වියේ පසුවෙන අංජල බණඩාර. ඔහු තමන් සහභාගී තරග 3ක ඉනිම 4ක දී ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 293ක් ලබා සිටිනවා.

ඊට අමතර ව ලසිත් කෲස්පුල්ලේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 205ක් ද, නිශාන් මධුශ්ක ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 204ක් ද සහ කවින් බණ්ඩාර ශතකයක් සමඟින් ලකුණු 203ක් ද ලබා ගනිමින් එක ළඟ දක්ෂතා දක්වමින් විශේෂ අවධානය දිනා සිටිනවා.

ඔවුන්ට අමතර ව අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 183ක් ලබා සිටින කවිඳු පතිරත්න, ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 159ක් ලබා සිටින විශාද් රන්දික ද  සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 145ක් ලබා සිටින නායක ධනංජය ද සිල්වා ද අගනුවර පිතිකරු ලැයිස්තුවේ ප්‍රබලයන් ලෙසින් වර්ගීකරණය කළ හැකියි.

දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් අතුරින් ඉදිරියෙන් ම ලැයිස්තු ගත ව ඇත්තේ දකුණතින් මඳ වේග පන්දු යවන කවිඳු පතිරත්න. ඔහු කඩුලු 11ක් ලබා ගනිමින් වඩාත් විශ්වසනීය පන්දු යවන්නා බවට පත් ව සිටිනවා. ඊට අමතර ව අකිල දනංජය සහ ශක්ති උදාර කඩුලු 9ක් බැගින් දවා ගනිමින් ද සහ නිසල අබේරත්න සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් බැගින් දවා ගනිමින් ද මෙම කණ්ඩායම හා එක් ව සිටිනවා.

දඹුල්ල කණ්ඩායම් සංචිතය

 

ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, ලසිත් කෲස්පුල්ලේ, විශාද් රන්දික (කඩුලු රකින්නා), තනුක දාබරේ, කවින් බණ්ඩාර, සහන් කෝසල, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), ශක්ති උදාර, චමිඳු වික්‍රමසිංහ, ලහිරු සමරකෝන්, අකිල දනංජය, නිසල අබේරත්න, විශ්ව ප්‍රනාන්දු සහ කවිඳු පතිරත්න.

කොළඹ කණ්ඩායම

මහනුවර සහ ගාල්ල කණ්ඩායම්වලට එරෙහි ව පළමු ඉනිමේ ජයග්‍රහණ ද සහ දඹුල්ල කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයක් ද ලැබූ කොළඹ කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ ශතකලාභීන් දෙදෙනෙක් සහ අර්ධ ශතකලාභීන් 8ක් කැටිවයි.

එලෙසින් දක්ෂතා දැක් වූ අගනුවර කණ්ඩායමේ මේ වෙද්දී වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ ජනිත් ලියනගේ. ඔහු නිමා වූ තරග 3ක ඉනිම් 4ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 280ක් ලබා ඇති අතර එහි තරගයක සාමාන්‍ය 70.00ක් ලෙසින් පවත්වා ගැනීමට ද සමත් ව සිටිනවා.

ඔහුට අමතර ව 20 හැවිරිදි වියේ පසුවෙන ශාරුජන් ශන්මුගනාදන් නිමා වූ තරග 3ක ඉනිම් 4ක දී ශතකයක් සමඟින් ලකුණු 174ක් ද, ධනංජය ලක්ෂාන් තරග 3ක ඉනිම් 5ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 156ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ඊට අමතර ව ප්‍රභාත් ජයසූරිය ලකුණු 131ක් ද, රවිඳු රසාන්ත ලකුණු 129ක් ද සහ කවිජ ගමගේ ලකුණු 121ක් ද ලබා ගනිමින් කණ්ඩායමේ විශ්වසනීය පිතිකරුවන් බවට පත් ව සිටිනවා.

පන්දු යැවීමේ දී කණ්ඩායමේ ඉහළ ම විශ්වාසය දිනා ඇත්තේ දකුණතින් මඳ වේග පන්දු යවන චමෝද් බට්ටගේ. ඔහු නිමා වූ තරග ත්‍රිත්වයේ දී කඩුලු 9ක් ලබා සිටිනවා. ඊට අමතර ව ප්‍රමෝද් මදුශාන් කඩුලු 7ක් ද, ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් ද සහ කවිජ ගමගේ කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

කොළඹ කණ්ඩායම් සංචිතය

 

චරිත් අසලංක (නායක), රවිඳු රසාන්ත, තරිඳු අමරසිංහ, ධනංජය ලක්ෂාන්, ජනිත් ලියනගේ, රනේෂ් සිල්වා, ශාරුජන් ශන්මුගනාදන් (කඩුලු රකින්නා), දුශාන් හේමන්ත, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, චමෝද් බට්ටගේ, ප්‍රමෝද් මදුශාන්, කවිජ ගමගේ, අසිත වන්නිනායක.

NATIONAL SUPER LEAGUE සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න THEPAPARE.COM අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<