කමිඳු සහ ධනංජය ශතක ලබා ගනී

SLC National Super League 4 Day Tournament 2024

1564

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය ආරම්භ කරමින් අද (25) පැවැති තරගවල දී Team Dambulla කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සහ Team Jaffna කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර Team Dambulla කණ්ඩායම වෙනුවෙන් ලියෝ ෆ්‍රැන්සිස්කෝ ද සහ Team Jaffna ජනිත් ලියනගේ සහ ලහිරු මධුශංක ද අර්ධ ශතක ඉනිම් ලබා ගැනීමට සමත් වූවා.

Team Dambulla සහ Team Colombo

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

o කාසියේ වාසිය – Team Dambulla

කාසියේ වාසිය දිනා ගත් Team Dambulla ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් පළමු දිනය නිමා වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 287ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 5ක් වෙද්දී දැවී යෑමත් සමඟින් කාසියේ වාසිය දිනා ගත් නායක කමිඳු මෙන්ඩිස් ගත් තීරණය තරමක අවදාම් වූවා. නමුත් එම තත්ත්වයෙන් මුදා ගැනීමේ මෙහෙයුමේ අණ දෙන්නා ද වූයේ ඔහු.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරු ලියෝ ෆ්‍රැන්සිස්කෝ සමඟ එක් වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 194ක සබඳතාවක් එක් කළේ පන්දු 321කට මුහුණ දෙමිනුයි. ඒ අනුව ලකුණු 199 දී ලියෝ ෆ්‍රැන්සිස්කෝ පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟන් ලකුණු 87ක් ලබා සිටිය දී දැවී ගියා.

අනතුරුව කඩුල්ලට කමිඳු මෙන්ඩිස් දැවී යද්දී පන්දු 164කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 115ක් ලබා සිටියා.

දිනය අවසන් වන විට ඇන්ජලෝ මැතිව්ස් පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 47ක් සහ පවන් රත්නායක පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඉසිත විජේසුන්දර, ලක්ෂිත මනසිංහ සහ කසුන් රාජිත කඩුල්ල බැගින් බෙදා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Dambulla – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 287 (89.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 47, පවන් රත්නායක 31, ඉසිත විජේසුන්දර 1/43

Team Kandy සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Kandy

කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී කණ්ඩායමේ ආරාධනාව අනුව පිටියට පිවිසි Team Jaffna ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 309ක් ලබා ප්‍රබල තත්ත්වයේ පසු වූවා.

ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක නොවූවත් තෙවැනි කඩුල්ලට ජනිත් ලියනගේ සහ නිශාන් මධුශ්ක එක් ව පන්දු 112කට මුහුණ දෙමින් එක් කළ ලකුණු 91ක සබඳතාව මඳ අස්වැසිල්ලක් ගෙන ආවා. එහි දී නිශාන් මදුශ්ක පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

ජනිත් ලියනගේ හතර වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියා. ඔහු ධනංජය ද සිල්වා සමඟ එක් ව එම කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් එක් කළා.

ඉනිම වෙනතකට යොමු කළ පිතිකරු වූයේ නායක ධනංජය ද සිල්වා. ඔහු පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා.

එමෙන් ම ඔහු ලහිරු මධුශංක හා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 130ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වූවා. ඒ පන්දු 238කට මුහුණ දෙමිනුයි.

තරගයේ පළමු දිනය අවසන් වන විට ලහිරු මධුශංක පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ ශෂික දුල්ශාන් පන්දු 25කට මුහුණ දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී චාමික ගුණසේකර, අශේන් ඩැනියල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින් දවා ගනිද්දී සිතුම් දිසානායක කඩුල්ලක් දවා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Jaffna – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 309 (90.0) නිශාන් මදුශ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ලහිරු මධුශංක නොදැවී 58, චාමික ගුණසේකර 2/34, ලසිත් ඇඹුල්දෙණිය 2/94, අශේන් ඩැනියෙල් 2/64

මෙම තරග 2 ම හෙට දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<