ICC වසරේ ටෙස්ට් කණ්ඩායමට දිමුත්ගේ නමත් එක් වෙයි

ICC Men's Test Team of the Year 2023

561

ගෙවුණු 2023 වසරේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතුරින් ICCය විසින් තෝරා ගත් වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ නම ද ඇතුළත් වී තිබෙනවා. 

ගෙවුණු වසරේ මුල් මාස හයක පමණ කාලයක් ශ්‍රී ලංකාව ටෙස්ට් තරග ක්‍රීඩා කළ නමුත් සාපේක්ෂව එතරම් ම හොඳ වසරක් ගෙවා දැමීමට නම් ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. 

කෙසේ වෙතත් මෙම කාල සීමාවේ දී කණ්ඩායමේ නායකත්වය දරමින් ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවූ දිමුත් කරුණාරත්න තරග 6කදී ඉනිම් 10ක් ක්‍රීඩා කරමින් ලකුණු 608ක් ලබා ගැනීමට සමත් වුනා. 

60.80ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව දිමුත් විසින් ලබා ගත් මෙම ලකුණු අතරට නවසීලන්තයේ දී ඉනිම හතරක් තුළ ලබා ගත් අර්ධ ශතක තුනක් සහ ශ්‍රී ලංකාවේ දී අයර්ලන්තයට එරෙහිව වාර්තා කළ ශතක ද්විත්වයක් ද ඇතුළත්. 

මේ අතර මෙම ICC වසරේ කණ්ඩායමේ දිමුත්ගේ ආරම්භක පිතිකරු සගයා ලෙස Usman Khawaja තේරී පත් වී තිබෙනවා. ගෙවුණු වසරේ දී ටෙස්ට් පිටියේ ලකුණු දහසේ සීමාව පසු කළ එකම පිතිකරු බවට පත් වුනේ Khawaja වන අතර, ඔහුට අමතරව Travis Head, Alex Carey, Pat Cummins සහ Mitchell Starc යන ක්‍රීඩකයින් ද ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් මෙම කණ්ඩායමට තේරී පත් වී තිබෙනවා. 

වත්මන් ටෙස්ට් ලෝක ශූරයින් ලෙස ඕස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකු මෙම කණ්ඩායමට එක් වන අතරේ, එංගලන්තයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්, ඉන්දියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නවසීලන්තයෙන් ද එක් ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායමට ඇතුළත්. 

කණ්ඩායමේ නායකත්වය හිමි වී තිබෙන්නේ ඕස්ට්‍රේලියානු නායක Pat Cummins හටයි. 

ICCය විසින් නම් කළ 2023 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙසේයි; 

Usman Khawaja, දිමුත් කරුණාරත්න, Kane Williamson, Joe Root, Travis Head, Ravindra Jadeja, Alex Carey, Pat Cummins (නායක), R Ashwin, Mitchell Starc සහ Stuart Broad  

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<