බාර්බඩෝස් පැරද වූ ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!

Netball World Cup 2023

4659
Barbados w vs Sri Lanka
(Photo by Shaun Roy/Gallo Images/Netball World Cup 2023)

2023 දැල්පන්දු ලෝක කුසලානයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම විසින් ඊයේ රාත්‍රියේ (02) සමත් වුනා. 

ලෝක ශ්‍රේණිගත කිරීම් හි 14 වැනි ස්ථානයේ රැඳී සිටින බාර්බඩෝස් කණ්ඩායම සහ ශ්‍රේණිගත කිරීම් හි 15 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ E කාණ්ඩය නියෝජනය කරමින් සහභාගී වූ මෙම තරගයෙන් බාර්බඩෝස් කණ්ඩායමට එරෙහිව ලකුණු 60-56ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මෙහි දී හැකියාව ලැබුණා. 

මෙතෙක් තරගාවලියේ ක්‍රීඩා කළ තරග කිහිපයක දී ම පළමු කාර්තුව එතරම් සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකි වූ නමුත් ඔවුන් ඊයේ බාර්බඩෝස් කණ්ඩායමට එරෙහිව එම වරද මග හරවා ගනිමින් ලකුණු 15-15ක් ලෙස සම මට්ටමින් තරගයේ පළමු කාර්තුව නිමා කළා. 

එමෙන්ම තරගයේ දෙවැනි කාර්තුව තුල දී ද ශ්‍රී ලංකාව විසින් තවත් ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වූ අතර, බාර්බඩෝස් ක්‍රීඩිකාවන් විසින් එහි දී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 11ක් පමණයි. 

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 30-26ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වුනා. 

නමුත් තරගයේ තෙවැනි කාර්තුව සම්පූර්ණයෙන්ම පාහේ සියතට ගැනීමට සමත් වූ බාර්බඩෝස් ක්‍රීඩිකාවන් විසින් ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකාව ලකුණු 13ක් පමණක් ලබා ගන්නා අතරේයි. 

මේ අනුව තරගයේ තෙවැනි කාර්තුව නිමා වන විට 43-48ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට බර්බඩෝස් ක්‍රීඩිකාවන් විසින් සමත් වුනා. 

නමුත් තරගයේ සිව්වැනි කාර්තුවේ දී නැවත තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් බාර්බ්ඩෝස් ක්‍රීඩිකාවන්ව සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට නතු කර ගනිමින් තවත් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ නමුත් එම කාලසීමාව තුළ බාර්බඩෝස් ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 8ක් පමණයි. 

ඒ අනුව මෙතෙක් තරගාවලියේ E කාණ්ඩයේ තරගවල අපරාජිතව වැජඹෙමින් සිටි බාර්බඩෝස් කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 60 – 56 බාර්බඩෝස් 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිශලා අල්ගම ලකුණු 47ක්, සේමිනී අල්විස් ලකුණු 9ක් සහ දුලංගි වන්නිතිලක විසින් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඊයේ තරගයේ දී තිශලා විසින් දැක්වූ දක්ෂතාව ද සමඟින් ඇයට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් 10 දෙනා අතරට එක් වීමට ද (10 වැනි ස්ථානය) අවස්ථාව හිමි වී ඇත්තේ ලකුණු 146ක් සමඟිනුයි. 

එමෙන්ම ගෙවුණු වසර 20ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් දැල්පන්දු ලෝක කුසලාන තරගයක දී සිංගප්පූරුව හැරෙන්නට වෙතත් රටක් පරාජය කළ පළමු අවස්ථාව ලෙස ද මෙම ජයග්‍රහණය ඉතිහාසයේ සටහන් වීම විශේෂත්වයක්. 

නමුත් තරගාවලියේ E කාණ්ඩයට නියමිත තරග අතරින් අවසන් තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයේ ප්‍රතිඵලය මෙම ලකුණු සටහනේ ශ්‍රී ලංකාව රැඳී සිටින ස්ථානයේ වෙනසක් කිරීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ. 

Barbados w vs Sri Lankaඒ අනුව මෙම ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනා ගැනීම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියේ 15 සහ 16 වැනි ස්ථාන වෙනුවෙන් සිංගප්පූරුව සමඟ නැවත සටන් කිරීමට ශ්‍රී ලංකාව කණ්ඩායමට සිදු වී ඇති අතර එම තරගය හෙට (04) ශ්‍රී ලංකා වෙලාවෙන් දහවල් 12.30ට පැවැත්වීමට නියමිතයි. 

මීට අමතරව තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් කරන කණ්ඩායම් 12 අතර තවත් තරග කිහිපයක් අද (03) දිනයේ ද පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ වන විටත් ජැමෙයිකාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වෙත සුදුසුකම් ලබා අවසන්. 

හෙට දිනයේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගයේ තොරතුරු ද ඇතුළුව 2023 දැල්පන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<