Kandy සහ Jaffna වැඩි වාසි ගනිමින් සතිය අවසන් කරයි

SLC National Super League 4 Day Tournament 2024

217

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතිය නිමා වූයේ පැවැති තරගවල විසඳුමක් නොමැතිවයි. නමුත් පැවැති තරගවල දී Team Kandy සහ Team Jaffna කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූවා.

අද (21) සිව් වැනි දිනයටත් ක්‍රියාත්මක වූ මෙම තරගවල දී දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට අශේන් ඩැනියෙල් සමත් වූවා. Team Kandy කණ්ඩායම නියෝජනය කරන ඔහු ලකුණු 59කට කඩුලු 5ක් දවා ගත්තා.

මේ අතර පිතිකරුවන් අතුරින් Team Galle කණ්ඩායමේ ඔෂඳ ප්‍රනාන්දු, Team Kandy කණ්ඩායමේ ලහිරු උදාර, Team Jaffna ලහිරු මධුශංක සහ ජෙෆ්රි වැන්ඩර්සේ සහ Team Colombo හිමාෂ ලියනගේ අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් කැපී පෙණුනා.

Team Galle සහ Team Kandy

o ක්‍රීඩාංගණය – හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

o කාසියේ වාසිය – Team Galle

ලකුණු 160ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ Team Kandy ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී තවත් ලකුණු 15ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියා.

අද ඔවුන් තම ලකුණු පුවරුවට කඩුලු 5ක් දැවී ලකුණු 190ක් පිවිසෙද්දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව Team Galle කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 351ක ඉලක්කයක් හිමි වුණා. තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට ඔවුන්ගේ ඉනිම දැක් වුණේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක් ලෙසයි.

Team Kandy කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දී ලහිරු උදාර පෙර දිනයේ දී නොදැවී ලකුණු 9ක් ලබා සිටි අතර අද ඔහු පන්දු 72ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා. ඊට අමතර ව කසුන් විදුර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 34ක්. ඒ සඳහා ඔහුට පන්දු 91ක් වැය වූ අතර ඊට හතරේ පහර 2ක් ඇතුලත් වුනා.

ඔවුන් දෙදෙනා සමඟ පළමු කඩුල්ලට පන්දු 124ක දී ලකුණු 96ක සබඳතාවක් එක් කිරීමට සමත් වීම කැපී පෙණුනා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 74කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව උදිත් මධුශාන් කඩුල්ලක් දවා ගත්තා.

Team Galle කණ්ඩායම අද කැපී පෙණෙන ඉනිමක නිතර වූයේ ආරම්භක පිතිකරු ඔෂඳ ප්‍රනාන්දු. ඔහු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගය නතර කරන විට ලක්ෂාන් එදිරිසිංහ පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද සහ කවිශ්ක අංජුල පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද ලබා සිටියා.

ඔවුන් දෙදෙනා අතර 8 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 44ක් වූ අතර ඒ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 56ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී අශේන් ඩැනියෙල් ලකුණු 59කට කඩුලු 5ක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙණිය සහ ලසිත් ලක්ෂාන් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (93.4) කසුන් විදුර 45, ලහිරු උදාර 100, සහන් ආරච්චිගේ 88, අහන් වික්‍රමසිංහ 63, මිලාන් රත්නායක 2/56, රමේෂ් මෙන්ඩිස් 2/75, උදිත් මධුශාන් 5/46

Team Galle – සියලුම දෙනා දැවී 205 (65.5) පසිඳු සූරියබණ්ඩාර 67, දිනේෂ් චන්දිමාල් 69, ප්‍රවීන් ජයවික්‍රම 18, චාමික ගුණසේකර 3/31, ලසිත් ඇඹුල්දෙණිය 3/71, අශේන් ඩැනියෙල් 3/64

Team Kandy – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 190 (43.0) කසුන් විදුර 34, ලහිරු උදාර 72, ලසිත් ලක්ෂාන් 25, රමේෂ් මෙන්ඩිස් 3/74

Team Galle – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 201 (53.0) ඔෂඳ ප්‍රනාන්දු 75, ලක්ශාන් එදිරිසිංහ නොදැවී 36, කවිශ්ක අංජුල නොදැවී 30, අශේන් ඩැනියෙල් 5/59

තරගයේ විසඳුමක් නෑ.

Team Colombo සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.

o කාසියේ වාසිය – Team Colombo

තෙවැනි දිනයේ දී තරගය නතර කරන විට  Team Jaffna කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා සිටි අතර ඔවුන් අද තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 359ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් පසුපෙළින් පිටියට පිවිසි ලහිරු මධුශංක සහ ජෙෆ්රි වැන්ඩර්සේ 9 වැනි කඩුල්ලට පන්දු 149ක දී ලකුණු 102ක සබඳතාවක් එක් කළා. එහි දී ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත් අතර ලහිරු මධුශංක පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු ද පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා. රවිඳු ප්‍රනාන්දු සහ ශෂික දුල්ශාන් (22) පන්දු 133ක දී ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වූවා.

ලකුණු 11ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ Team Colombo කණ්ඩායම තරගය අවසන් වන විට  කඩුලු 5ක් දැවී ලකුණු 142ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් ලබා ගත් හිමාෂ ලියනගේ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී රවිඳු ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 3ක් ද සහ ශෂික දුල්ශාන් කඩුලු 2ක් ද දවා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 348 (121.1) ශෙවෝන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු 105, හිමාෂ ලියනගේ 56, චමිඳු වික්‍රමසිංහ 22, ලහිරු මධුශංක 3/39, රවිඳ ප්‍රනාන්දු 2/74, ජෙෆ්රි වැන්ඩර්සේ 2/77

Team Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (113.1) නිශාන් මධුශ්ක 60, හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 31, සංතුශ් ගුණතිලක 24, ශෂික දුල්ශාන් 22, රවිඳු ප්‍රනාන්දු 40, ලහිරු මධුශංක 58, ජෙෆ්රි වැන්ඩර්සේ 53, නිසල තාරක 3/79, ඉසිත විජේසුන්දර 3/49, චමිඳු විජේසිංහ 2/34

Team Colombo – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 142 (34.3) නුවනිඳු ප්‍රනාන්දු 32, හිමාෂ ලියනගේ නොදැවී 51, රවිඳු ප්‍රනාන්දු 3/67, ශෂික දුල්ශාන් 2/47

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ දෙවැනි සතියේ තරග ජනවාරි මස 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<