චමරි ඉතිහාසය අලුත් කරමින් වසරේ එක්දින ක්‍රීඩිකාව බවට පත් වෙයි

ICC Awards 2023

143

ICCය විසින් පිරිනැමූ 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය ශ්‍රී ලංකා එක්දින නායිකා චමරි අතපත්තු හට හිමි වුනා.

ගෙවුණු වසරේ කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් අතුරින් චමරි හට මෙම සම්මානය හිමි වූ අතර, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩිකාවක් විසින් මෙසේ ICC සම්මානයක් දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වනු ඇති.

මෙවර ICCය විසින් පිරිනැමීමට නියමිත ව තිබූ සම්මාන තුනක් සඳහා චමරිගේ නම නිර්දේශ වූ අතර එයින් ඇයට හිමි වුනේ මෙම සම්මානය පමණයි. කෙසේ වෙතත් ගෙවුණු වසර චමරි අතපත්තු විසින් සිය ක්‍රීඩා දිවියේ ගෙවා දැමූ විශිෂ්ටතම වසරක් ලෙස සැකයකින් තොරව හඳුන්වා දිය හැකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය වසරේ දී සාපේක්ෂව අඩු එක්දින තරග ප්‍රමාණයක් (08) පමණයි ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ. මෙම තරග තුළ දී චමරි විසින් 69.16ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 415ක් ලබා ගැනීමට සමත් වුනේ 125.37ක් වැනි ඉහළ ප්‍රහාරාත්මක වේගයක් ද රඳවා ගනිමිනුයි.

බංග්ලාදේශය සමඟ පැවැත්වුණු එක්දින තරගාවලියකින් පසුගිය වසර ආරම්භ කළ ශ්‍රී ලංකාව එම තරගාවලිය තරග 1-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර, එම ජයග්‍රාහී තරගයේ දී චමරිගේ පිත්තෙන් වටිනා අර්ධ ශතකයක් වාර්තා වුනා.

එමෙන්ම ඉන් පසුව නවසීලන්ත කාන්තා කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දී සිදු කළ තරහ සංචාරයේ දී චමරිගේ පිත්තෙන් ජයග්‍රාහී ශතක ද්විත්වයක් (108ක් සහ 140ක්) වාර්තා වූ අතර, එම ශතක දෙක නිසාවෙන් ශ්‍රී ලංකාවට නවසීලන්තයට එරෙහිව ඉතිහාසගත එක්දින තරගාවලි ජයග්‍රහණයක් ද වාර්තා කිරීමට හැකියාව ලැබුණා.

නමුත් පසුව එංගලන්තයේ දී  සහභාගී වූ එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණේ නැහැ. මෙහි දී චමරිගේ පිත්ත ක්‍රියාත්මක නොවීම මෙම පරාජයට විශාලතම හේතුව වූ බවත් නොරහසක්.

මෙම තරගාවලි ජයග්‍රහණ සඳහා චමරිගේ පිත්ත, පන්දුව මෙන්ම නායකත්වය ද විශාල සාධකයක් වූ අතර, එම නිසාම පසුගිය දා ICC විසින් ඇය වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට පවා නම් කළා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<