චමරිට වසරේ එක්දින කණ්ඩායමේ නායකත්වයත් හිමි වෙයි!

ICC Women's ODI Team of the year 2023

430
Chamari Athapaththu named for icc women's odi team

ICC 2023 වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ද චමරි අතපත්තුව නම් කර තිබෙනවා. 

ඊයේ (22) ICCය විසින් 2023 වසරේ විස්සයි විස්ස කණ්ඩායම ප්‍රකාශයට පත් කලේ එහි නායිකාව ලෙස චමරිගේ නම තෝරා ගනිමිනුයි.  

අද (23) ICCය විසින් වසරේ එක්දින කණ්ඩායම නම් කරද්දී, එහි නායකත්වය ද චමරිගේ නම ඉදිරියෙන් සටහන් වී තිබුණා. 

ගෙවුණු වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම වසරක් වූ අතර, චමරිට ද අමතක කළ නොහැකි අන්දමේ වසරක් වුනා.  

ගෙවුණු වසරේ දී ශ්‍රී ලංකාව විසින් නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තරග 2-1ක් ලෙස ඉතිහාසගත එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලැබූ අතර, ඒ වෙනුවෙන් චමරිගේ නායකත්වය මෙන්ම පිතිකරණය ද විශාල කාර්ය භාර්යයක් ඉටු කළා. 

විශේෂයෙන්ම තරගාවලියේ තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින තරගය ජයග්‍රහණය කරා කැඳවා ගෙන ගිය චමරි පන්දු 80කින් වේගවත් ලකුණු 140ක් ලබා ගත්තා. එමෙන්ම තරගාවලියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අනෙක් තරගයේ දී ද චමරි විසින් ශතකයක් (108) රැස් කිරීමට සමත් වුනා. 

මීට අමතරව චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ද එක්දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට ද පසුගිය වසරේ දී සමත් වුනා. 

2023 වසරේ දී එක්දින ජාත්‍යන්තර තරග 8ක් පමණක් ක්‍රීඩා කළ චමරි, එහි දී 69.16ක් වැනි ඉහළ පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 415ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඇයගේ ප්‍රහාරාත්මක වේගය 125ක් වැනි ඇදහිය නොහැකි තරම් ඉහල අගයකයි රැඳී තිබුණේ. 

මෙම හේතූන් නිසාවෙන් චමරි ගෙවුණු වසරේ එක්දින කණ්ඩායමට සහ එහි නායකත්වයට ද ICCය විසින් යෝජනා කළ බව වටහා ගත හැකි. එමෙන්ම ඇය 2023 වසරේ එක්දින ක්‍රීඩිකාවට හිමි ICC සම්මානය සඳහා ද මේ වන විට යෝජනා වී තිබෙනවා. 

මේ අතර චමරිගේ නායකත්වය යටතේ වසරේ එක්දින කණ්ඩායමට එක් වූ අනෙකුත් ක්‍රීඩිකාවන් අතුරින් වසරේ වැඩිම ලකුණු ලාභිනිය වූ නවසීලන්තයේ Amelia Kerr, වසරේ දෙවැනි ඉහළතම ලකුණු ලාභිනිය වන ඕස්ට්‍රේලියාවේ Phoebe Litchfield, වසරේ වැඩිම කඩුලු ලාභිනිය වන ඕස්ට්‍රේලියාවේ Ash Gardner වැනි ක්‍රීඩිකාවන්ගේ නම් කැපී පෙනෙනවා. 

එමෙන්ම මෙම කණ්ඩායම සඳහා සමස්ත ආසියාවෙන් ම තේරී පත් වී තිබෙන්නේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු (අනෙක් ක්‍රීඩිකාව බංග්ලාදේශයේ Nahida Akter) පමණක් වීමත් විශේෂත්වයක්. 

ICCය විසින් ප්‍රකාශයට පත් කළ 2023 වසරේ කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම මෙසේයි; 

චමරි අතපත්තු (නායිකාව), Phoebe Litchfield (ඕස්ට්‍රේලියාව), Ellyse Perry (ඕස්ට්‍රේලියාව), Amelia Kerr (නවසීලන්තය), Beth Mooney (ඕස්ට්‍රේලියාව), Nat Sciver-Brunt (එංගලන්තය), Ash Gardner (ඕස්ට්‍රේලියාව), Annabel Sutherland (ඕස්ට්‍රේලියාව), Nadine De Klerk (දකුණු අප්‍රිකාව), Lea Tahuhu (නවසීලන්තය), Nahida Akter (බංග්ලාදේශය) 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<