ලෝකෙටම දැමූ ඇමරිකාවේ ලොකුකම Lyles ඉදිරියේ නන්නත්තාර වෙයි!

FIBA Basketball World Cup 2023

2275

“අවංකවම කියනවා නම් මම ඇත්තටම හිතන්නේ NBA තමයි හොඳම කියලා. නමුත් ක්‍රීඩාවේ දෙපැත්ත තේරුම් නොගැනීමේ මට්ටමක් තියෙනවා. ජාතික මට්ටම සහ ලෝක මට්ටම ලෙස කොටස් දෙකක් තියෙනවා. ලෝකයේ සෙසු රටවල් වලට මුහුණ නොදී ඔබට ලෝක ශූරතාව ලබා ගත නොහැකි.”

පසුගිය දවසක ප්‍රසිද්ධ ඇමරිකානු වෙබ් අඩවියක් වන GQ Sport වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇමරිකානු කෙටිදුර ධාවන ශූර Noah Lyles විසින් මේ විදිහේ ප්‍රකාශයක් සිදු කරන්නේ, ඊටත් පෙර ඔහු විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නැවතත් ලෝකයට පැහැදිලි කර දීම වෙනුවෙන්.

මීටර් 100 සහ 200 ඉසව්වල වත්මන් ලෝක ශූරයා වන Noah Lyles විසින් බුඩාපේස්ට් හිදි පැවැත්වුණු ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය නිමා වීමත් සමඟ සිදු කළ ප්‍රකාශයක් එක්ක මුලු එක්සත් ජනපදය ම ඇවිළිලා ගියා කිව්වොත් නිවැරදියි.

ඇමරිකා එක්සත් ජනපදයේ අතිශය විශාල ජනප්‍රියත්වයක් සහ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කර ගන්න සමත් වෙලා තියෙන ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව සහ ඔවුන්ගේ ප්‍රධානතම පැසිපන්දු ලීගය ලෙස සැලකෙන NBA අලලා Lyles විසින් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා තමයි ඇමරිකාව මේ විදිහට ඇවිළෙන්න පටන් ගත්තේ.

NBA ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තමන්ව ලෝක ශූරයින් (World Champions) ලෙස හඳුන්වා ගැනීම තමයි Lylesගේ ගැටලුව වුනේ. ඇමරිකාවට NBA ලොකු වුනාට ලෝකයට NBA ලොකු නැහැ කියලා තමයි Lyles සරලවම සඳහන් කළේ.

“ඔබ දන්නවා ද මාව වඩාත් ම රිදවන දේ තමයි, මට NBA අවසන් තරග නැරඹීමට සිදුවීම සහ ඔවුන්ගේ හිස මත “ලෝක ශූරයා,” යන්න රැඳීම.

මොකේ ලෝක ශූරයා ද?

එක්සත් ජනපදයේ?

මාව වැරදියට තේරුම් ගන්න එපා. මම එක්සත් ජනපදයට ආදරෙයි.

නමුත් එය ලෝකය නෙවෙයි. අපි තමයි ලෝකය කියන්නේ. අපි මෙහි සිටින සෑම රටක් සමඟම පාහේ සටන් කරමින් වර්ධනය වෙනවා. ඔවුන්ගේ ජාතික කොඩි ඔවුන් නියෝජනය කරන බව පෙන්වීමට භාවිත කරනවා.

NBA වල ජාතික කොඩි කිසිවක් නැහැ!

මේ ප්‍රකාශය සිදු කරන්න Lyles විසින් පාවිච්චි කරන භාෂා විලාශය නිසා වැඩි වැඩියෙන් ලෝකය පුරාවට මේ වීඩියෝ පටය ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. බොහෝ දෙනෙක් (ඇමරිකානු නොවන) Lylesගේ මේ කතාවට එකඟ වෙනවා සහ Lyles ඇමරිකානුවෙක් විදිහට ඇමරිකාව විවේචනය කිරීම බාහිර ඉඳන් බලන අයට අමුතු සතුටක් ගෙන දුන් කාරණයක් වුනා කිව්වත් වරදක් නැහැ.

කොහොම වෙතත් ඇමරිකාවේ අතිශය ජනප්‍රිය NBA වැනි නමකට වාග් ප්‍රහාර එල්ල කරනවා කියන්නේ ඉල්ලන් කෑමක්. ඒ ඉල්ල ගෙන කෑම මොන තරම් දරුණු විදිහේ එකක් ද කියන එක ඊට පසු දින සිටම Lylesට වගේම සෙසු ලෝකයටත් දකින්න පුළුවන් වුනා.

“කවුරු හරි මේ සහෝදරයට උදව් කරන්න” – Kevin Durant

 

View this post on Instagram

 

A post shared by ESPN (@espn)

“NBA තමයි ලෝකේ තියෙන හොඳම ලීගය, ඒ නිසයි ඔවුන් ලෝක ශූරයින් වෙන්නේ.”

Devin Booker, Draymond Green සහ Damian Lillard වැනි සුපිරි NBA තරු වලින් එල්ල වුන මෙවැනි විවේචන ගණනාවක් අතරේ සුපිරි රැප් ගායකයෙක් සහ දරුණු NBA රසිකයෙකු වන Drake විසිනුත් Lylesට උත්තර දෙනවා.

“පෙර රාත්‍රියේ ඔහු හිතුවේ මේ කතාව ගොඩක් දැඩි වේවි කියලා. දැන් මුලු ලීගය ම ඔබව ගණන් ගන්නේ නැහැ.”

ඒ විදිහට ඇමරිකාවෙන් Lylesට විවේචන සහ උපහාසාත්මක යෙදුම් වලින් පහර දෙද්දී, තවත් ප්‍රගතිශීලී ඇමරිකානුවන් පිරිසක් Lylesගේ පැත්තේ සිටගන්න තීරණය කරනවා.

Lyles නිමා වුන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරද්දී, එහි කාන්තා ඉසව්ව ජයග්‍රහණය කළ ඇමරිකාවේ Sha’Carri Richardson විසින් Lylesගේ පැත්තට කතා කරනවා.

“මම මේ වෙලාවේ Noahගේ පැත්තෙන් හිටගන්නවා.”

“ඇමරිකානු මලල ක්‍රීඩකයෙක් මේ තරම් විවෘත මනසකින් යුක්ත වේවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.”

ඝානා දේශයේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන Garry AI Smith විසින් Lyles ගැන එහෙම කියනවා.

“ඔබ ලෝක කුසලානයකට හෝ ඔලිම්පික් වලට සහභාගී වෙලා ජයග්‍රහණය කළොත් ඔබට ඔබව ලෝක ශූරයින් ලෙස හැඳින්වීමට අයිතියක් තියෙනවා. මම හිතන විදිහට NBA ශූරතාව කියන්නේ එක් ශූරතාවක් විතරයි.”

NBA තරගාවලියේ New York Knicks කණ්ඩායම නියෝජනය කරන ප්‍රංශ ක්‍රීඩක Evan Fournier මේ ගැන දරන්නේ ඒ විදිහේ අදහසක්.

කොහොම වුනත් මේ සියල්ලක් ම අතීත සිදුවීම්. ආසන්න වශයෙන් සති දෙකකට පමණ පෙර වෙච්ච දේවල් ගැන දැන් ආයෙත් කතා බහ කරන්න හේතුවක් තියෙනවා.

හේතුව තමයි 19 වැනි FIBA පැසිපන්දු ලෝක ශූරතාවය පසුගිය ඉරිදා (10) දිනයේ දී නිමාවට පත්වීම.

Lylesගේ මේ “ලෝක ශූර” ප්‍රකාශය සමඟ ඇවිළුණු එක්සත් ජනපදයට තමන් NBA නිසා විතරක් ම නෙවෙයි වචනාර්ථයෙන් ම ලෝක ශූරයින් බව ඔප්පු කරලා පෙන්වන්න අවස්ථාවක් 2023 FIBA ලෝක කුසලානය සමඟ උදා වුනා.

නමුත් දෛවයේ සරදමකට වගේ ඇමරිකා එක්සත් ජනපදයට මෙවර තරගාවලියේ දී හිමි වුනේ සිව්වැනි ස්ථානය.

19 වතාවක් පැවැත්විලා තියෙන පැසිපන්දු ලෝක කුසලානයේ සාර්ථක ම රට මොකක්ද කියලා ඇහුවොත් ඔබට ලැබෙන පිළිතුර තමයි ඇමරිකා එක්සත් ජනපදය. මෙවර තරගාවලියේ දී ජර්මනිය සිය පළමු ශූරතාවය ජයග්‍රහණය කරද්දී, එක්සත් ජනපදයට දැනටමත් ලෝක ශූරතා 5ක අයිතිය තියෙනවා.

ඊට අමතරව ලෝක කුසලාන ඉතිහාසයේ රිදී පදක්කම් (දෙවැනි ස්ථාන) 3ක් සහ ලෝකඩ පදක්කම් (තෙවැනි ස්ථාන) 4ක් ඔවුන්ට අයිතියි.

ඒ නැතත් ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝක පැසිපන්දු ඉතිහාසයේ දැවැන්ත ම ප්‍රතිරූපය හිමි රට වෙන්නේ. ඔවුන්ට පැසිපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඔලිම්පික් රන් පදක්කම් 16ක් හිමියි. ඒ වගේම FIBA AmeriCup* ශූරතා 7ක අයිතිය ඔවුන් සතුයි.

*. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ආජන්ටිනාව වැනි ඇමරිකා මහද්වීපයේ රටවල් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියක්.

ඊට අමතරව NBA කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය මූලික කර ගෙන පැවැත්වෙන පැසිපන්දු ලීගයක් වුනත් මේ වෙනුවෙන් ලොව නන්දෙසින් හොඳම පැසිපන්දු ක්‍රීඩකයින්

සහභාගී වෙනවා. ඇමරිකානු නොවන Victor Wembanyama, Nikola Jokić, Luka Dončić වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් වර්තමානයේ NBA සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා.

ඒ වගේම මෙවර ලෝක ශූරයින් බවට පත් වුන ජර්මානු කණ්ඩායමේ Maxi Kleber, Daniel Theis, Franz Wagner සහ Moritz Wagner යන ක්‍රීඩකයින් සිව්දෙනා ම NBA නියෝජනය කරන ක්‍රීඩකයින්.

ඔවුන් දන්නවා NBA ලීගයට ඇතුළත් වීම මොන තරම් අමාරු දෙයක් ද කියලා. ඒ හැරුණාම NBA ලීගයේ ක්‍රීඩා කරන සුපිරි ඇමරිකානු තරු මෙවර පැසිපන්දු ලෝක කුසලානයේ දී ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ.

ඇත්තටම මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායම පරදවන්න පුළුවන් ක්‍රීඩකයින් ඕනෑ තරම් ඇමරිකාව තුළ ම ඉතිරි වෙලා හිටියා. ඔලිම්පික් සහ NBA වලට තරම් පිළිගැනීමක් ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩකයින් තුළ වගේම සාමාන්‍ය ජනයා තුළත් FIBA ලෝක කුසලානය වෙනුවෙන් නැහැ. ඒ නිසාම ඔවුන් ලෝක කුසලාන වෙනුවෙන් තමන්ගේ හොඳම කණ්ඩායම ඉදිරිපත් කරන්න මහන්සි වෙන්නෙත් නැහැ.

බොහෝ විට ලෝක කුසලානයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන ඇමරිකානු පැසිපන්දු කණ්ඩායමක ඉන්නේ අත්දැකීම් ලබා ගනිමින් ඉන්න නැගී එන ක්‍රීඩකයින්. ඔවුන්ගේ ප්‍රවීණයින් කිසිම වෙලාවක ලෝක කුසලානයකට ප්‍රමුඛතාව ලබා දීලා තමන්ගේ කාලසටහන අවුල් කර ගන්න කැමති නැහැ. අදක ඊයේක නෙවෙයි කාලයක සිට ම මේ දේ සිදු වෙන්නේ මේ විදිහට තමයි.

මේකත් එක්තරා විදිහක Ego (මහන්තත්වකමක්) එකක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ මානසික මට්ටමට තමයි මීට සති දෙකකට කලින් Noah Lyles විසින් සමච්චල් කරන්නේ. ඒ නිසා Lylesගේ තත්පර හතළිස් ගණනක් දිවෙන වචන ටික ඇමරිකාවේ ලෝකෙට ලොක්කා සංකල්පයට සෑහෙන්න රිදුණු පහරක් බව අපිට විශ්වාස කරන්න පුළුවන්.

සාමාන්‍ය ඇමරිකානු ජන මනස විසින් පිළිගත්තා හෝ නැතා පසුගිය සතියේ දී FIBA ලෝක කුසලානයෙන් ඔවුන්ට ලබන්න සිදු වුනු අනපේක්ෂිත පරාජය Lylesගේ පාර්ශවයට සැලකිය යුතු මට්ටමේ සහයක් ලබා දුන්නා.

ඇමරිකාව මෙවර තරගාවලියේ දී පළමුව ලිතුවේනියාවට පරාජය වුනා. ඉන්පසුව ඔවුන් ලෝක ශූර ජර්මනිය හමුවේ අවසන් පූර්ව වටය පරාජය වෙනවා විතරක් නෙවෙයි, කැනඩාව හමුවේ තුන්වැනි ස්ථානය වෙනුවෙන් කළ සටනත් පරාජය වෙනවා.

Lyles විසින් තමන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් සති කිහිපයකට පසුව (ජර්මනිය හමුවේ ඇමරිකාව ලබපු (ලකුණු 113-111) තියුණු පරාජයෙන් පසුව) GQ Sports සමඟ එක් වුනු සම්මුඛ සාකච්ඡාවක දී ලිපිය ආරම්භයේ සටහන් කළ ප්‍රකාශය සිදු කරනවා.

“අවංකවම කියනවා නම් මම ඇත්තටම හිතන්නේ NBA තමයි හොඳම කියලා. නමුත් ක්‍රීඩාවේ දෙපැත්ත තේරුම් නොගැනීමේ මට්ටමක් තියෙනවා. ජාතික මට්ටම සහ ලෝක මට්ටම ලෙස කොටස් දෙකක් තියෙනවා. ලෝකයේ සෙසු රටවල් වලට මුහුණ නොදී ඔබට ලෝක ශූරතාව ලබා ගත නොහැකි.”

NBA කියන්නේ ලොව පවතින හොඳම ක්‍රීඩා ලීගයක් බව Lyles පිළිගන්නවා. නමුත් තමන්ට තියෙන එකම ගැටලුව “ලෝක ශූරයන්” කියන වචනය අවභාවිත වීම බවයි Lyles අවධාරණය කරන්නේ.

වසර ගණනාවක් තිස්සේ පැවත ආ ගැටලුවක් ගැන තමන් අනෙක් අයගේ අවධානය යොමු කළා කියලයි Lyles දැන් කියන්නේ. ඒ වගේම ඔහු මේ සාකච්ඡාව අතරතුර දී තමන්ව උපහාසයට ගත්ත රැප් ගායක Drakeට හොඳ උත්තරයක් ලබා දෙන්නත් අමතක කරන්නේ නැහැ.

“ඒ සමඟ හාස්‍යජනක දේවල් ගොඩක් එළියට ආවා, හරියට Drake වගේ.

Drake ඔබ මොකක්ද මෙහේ කරන්නේ. ආපහු ගෙදර* යන්න. මේක NBA සංවාදයක්.”

*.Drake කැනේඩියානු ජාතිකයෙකි.

Lyles විසින් මේ ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව තමයි ඇමරිකාව විසින් කැනඩාව හමුවේ පරාජය වුනේ. කොහොම වෙතත් මේ පරාජය සමඟ නැවතත් Lylesගේ කතාවට පණ එනවා. නමුත් මේ වතාවේ Lylesට ප්‍රතිවිරුද්ධ මත වලට නම් ඒ තරම් පණ ලැබුණු බවක් පෙන්න තිබුණේ නැහැ.

ඔය අතරේ ඇමරිකා පරාජයෙන් පසුව Twitter හි සටහන් වුන Lyles සම්බන්ධ Post දෙකකට ඔහු විසින් සිය කැමැත්ත (Like) ප්‍රකාශ කරපු බවත් ඇමරිකාවේ කතාබහට ලක් වෙන්න පටන් ගන්නවා.

Lyles විසින් ආයෙ ආයෙත් NBA පසු පස හෝ පැසිපන්දු පසුපස පන්නන්නේ නැහැ කියලා පේන්න තිබුනත් ඔහු හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නවා කියලා නම් මේකෙන් තහවුරු වෙනවා. සමහර විට තමන්ව ඉලක්ක කර ගත්තු සුපිරි තරුවලට කට උත්තර නැති වීම ගැන Lyles විසින් සියුම් සතුටක් ලබනවාත් ඇති.

කොහොම වෙතත් Lylesට පෙරලා පහර දෙන්න උත්සාහ කළ බහුතරයකට දැනට ඉතුරු වෙලා තියෙන්නේ “අපි ලෝක කුසලානය ගණන් ගන්නේ නැහැ” කියන උත්තරය විතරයි.

ඒ වගේම මේ දෙපාර්ශවයට ආයෙත් ගැටෙන්න හොඳම අවස්ථාවක් තවත් අවුරුද්දකට පසුව ලැබෙන්න නියමිතයි. 2024 පැරිස් ඔලිම්පික් වල දී Lyles විසින් මීටර් 100, 200 ඉසව්වල රන් පදක්කම් වගේම, Usain Boltගේ ලෝක වාර්තා හඹා යෑමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ අතරේ ඇමරිකාවටත් පුළුවන් ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් මාන බලන්න වගේම Lylesට දෙන්න උත්තරයක් හොයා ගන්නත්.

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<