2023 රග්බි ලෝක කුසලානයේ මොනවද මේ වෙන්න යන්නේ?

Rugby World Cup 2023

3735

එළඹෙන සැප්තැම්බර් 08 වැනිදා සිට ප්‍රංශයේ දී 10 වැනි රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට නියමිතයි. 

මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් තරග වැදීමට නියමිත අතර A, B, C සහ D යන කාණ්ඩ හතර යටතේ මෙම කණ්ඩායම් මූලික වටය වෙනුවෙන් තරග වදින්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. 

මූලික වටයේ කණ්ඩායම් අතරින් එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන ද්විත්වය බැගින් දිනා ගන්නා කණ්ඩායම් තරගාවලියේ ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගන්නවා. 

මේ විදිහට ගිහින් ඔක්තෝබර් 28 වැනිදායින් ලෝක කුසලානය නිමා වෙන්න නියමිතයි. 

2023 ලෝක කුසලානයේ දල සැලැස්ම තමයි ඒ. කොහොම වෙතත් මෙවර ලෝක කුසලානයට කලින් ලෝක කුසලාන ඉතිහාස ගැන මතක් කර ගන්න එක සෑහෙන්න වටිනවා. 

රග්බි ලෝක කුසලාන ඉතිහාසය 

රග්බි ක්‍රීඩාවට ඉතා පැරණි ඉතිහාස කතාවක් වගේම, වසර සියයකට අධික අතීතයක් සහිත රග්බි තරගාවලිත් තියෙනවා. ඒ කොහොම වෙතත් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ වෙන්න නම් තරමක් කල් ගත වුනා. 

රග්බි ක්‍රීඩා ඉසව්වක් විදිහට 1900 ඔලිම්පික් උළෙලට පවා සහභාගී කර ගත්තා. ඊටත් කලින් 1883 දී එංගලන්තය, අයර්ලන්ත, ස්කොට්ලන්තය සහ වේල්සය සම්බන්ධ වෙමින් Home Nations* රග්බි තරගාවලියත් ආරම්භ කළා. 

*. පසු කාලීන ව ප්‍රංශය සහ ඉතාලියත් තරගාවලිය සමඟ එක් වීමත් එක්ක මෙය Six Nations තරගාවලිය ලෙසට පරිවර්තනය වුනා. 

කෙසේ වෙතත් Home Nations තරගාවලිය ආරම්භ වීමෙන් ශත වර්ෂයකටත් පමණ පසුව පළමු රග්බි ලෝක කුසලානය 1987 වර්ෂයේ දී ආරම්භ වෙනවා.

රග්බි ලෝක කුසලානයක් ආරම්භ කිරීම වෙනුවෙන් 1950 දශකයේ පටන් ම විවිධ කතාබහ ඇති වුනත් ඒවා ක්‍රියාවට නැංවුණේ නැහැ. කොහොම නමුත් 1983/84 වර්ෂවල දී නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ මැදිහත් වීමෙන් රග්බි ලෝක කුසලාන තරගාවලියක් නිල වශයෙන් ආරම්භ කිරීම ක්‍රියාවට නැංවුනා. 

ඒ අනුව නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ම සත්කාරකත්වයෙන් යුතුව 1987 දී ආරම්භ වුන පළමු රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න සත්කාරක නවසීලන්තය සමත් වුනේ ප්‍රංශය විසින් පළමු ලෝක අනුශූරයන් බවට පත් කරවන අතරේ දීයි. 

ආරම්භක ලෝක කුසලානයේ අනුශූරයින් බවට පත් වෙන්න හැකියාව ලද ප්‍රංශය මේ වෙනකනුත් ලබා ගන්න සමත් වුන ඉහළ ම ස්ථානය අනුශූරතාවය වීම විශේෂත්වයක්. 

1987, 1999 සහ 2011 වර්ෂ වල දී ප්‍රංශය ලෝක අනුශූරයින් බවට පත් වෙන්න සමත් වෙනවා. 

වාසනාවන්ත දකුණු අප්‍රිකාව 

ක්‍රීඩාවේ දී වාසනාවත් යම් පමණකට හෝ අවශ්‍ය බව තහවුරු කරන එක රටක් තමයි දකුණු අප්‍රිකාව කියන්නේ. ක්‍රිකට් සහ දකුණු අප්‍රිකාව කියන්නේ අවාසනාවන්තකමට කියන තව නමක් කියලා කිව්වත් වැරදි නැහැ. 

හැබැයි රග්බි ලෝක කුසලානවල දී නම් දකුණු අප්‍රිකාව තමයි නවසීලන්තයට පසුව ඉන්න සාර්ථක ම රට.

1995 සිට නොකඩවා පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි 7න් තුනක් ම ජයග්‍රහණය කරන්න දකුණු අප්‍රිකාව සමත් වෙන්නේ, ඔවුන් මෙතෙක් සහභාගී වුන ලෝක කුසලාන අවසන් මහා තරග සියල්ල (1995, 2007, 2019) ජයග්‍රහණය කරන ගමන්. ඊට අමතරව ඉතිහාසයේ දෙවරක් තුන්වැනි ස්ථානයට පත් වෙන්නත් දකුණු අප්‍රිකාව සමත් වෙලා තියෙනවා. 

මේ අතරේ නවසීලන්තය විසින් සිය ලෝක කුසලාන සහභාගී වීම් 9 අතරින් තුන් වතාවක් ලෝක ශූරයින් (1987, 2011,2015) සහ එක් වතාවක් ලෝක අනුශූරයින් (1995) බවට පත් වෙන්න සමත් වෙනවා. 

ලෝක කුසලාන තරගාවලි 9න් අටක දී ම හොඳම කණ්ඩායම් හතර අතරේ නම ලියා ගන්න නවසීලන්තය විසින් සමත් වීම ම ඔවුන්ගේ ලෝක කුසලාන ආධිපත්‍ය පිළිබඳ මනාවට පැහැදිලි කරනවා. 

ලෝක කුසලාන ඉතිහාසය පුරාවට අවසන් කණ්ඩායම් හතර අතරේ රැඳීමට කණ්ඩායම් සමත් වූ අවස්ථා සම්බන්ධ ප්‍රතිශත පහතින් දැක්වෙනවා. 

  • නවසීලන්තය – 88.88% 
  • දකුණු අප්‍රිකාව – 71.42% 
  • ඔස්ට්‍රේලියාව – 66.66% 
  • ප්‍රංශය – 66.66% 
  • එංගලන්තය – 62.5% 

ඉහත දත්ත සමඟ නම් නවසීලන්තය තමයි රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතමයා. නමුත් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී ගැටලු නිසා ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමින් පැනවුන ක්‍රීඩා තහනම හේතුවෙන් 1987 සහ 1991 රග්බි ලෝක කුසලාන තරගාවලි දෙකට ම සහභාගී වීමේ අවස්ථාව අහිමි වෙනවා. එය එසේ නොවෙන්න රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ පැහැදිලි විශිෂ්ටයා විදිහට නවසීලන්තය වෙනුවට අපිට දකුණු අප්‍රිකාව හඳුන්වලා දෙන්න ඉඩ නොතිබුණාමත් නෙවෙයි. 

අවාසනාවන්ත අයර්ලන්තය  

මේ වෙද්දී රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානය හිමි වෙලා තියෙන්නේ අයර්ලන්තයට. ඒ වගේම අයර්ලන්තය මේ වතාවේ හරි යම් වෙනසක් සිදු කරාවි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. 

මොකද ඉතිහාසය දිහා බැලුවහම අයර්ලන්තය කියන්නේ මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන 9 ම ක්‍රීඩා කරලත් තවම අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉදිරියට යන්න බැරි වුන කණ්ඩායමක් වීම. 

මේ පීඩනයත් සමඟ තමයි මෙවර තරගාවලියට ඔවුන් ඉදිරිපත් වෙන්නේ. මේ අතරේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ තුන්වැනියට සාර්ථක ම රට ලෙස හඳුන්වා දිය හැකි ඕස්ට්‍රේලියාව (1991, 1999 ලෝක ශූරයින්) මේ වෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීම්වල රැඳිලා ඉන්නේ 9 වැනි ස්ථානයේ වීමත් විශේෂත්වයක්. 

ලෝක කුසලාන දත්ත සහ වාර්තා 

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා ලෙස සටහන් වෙන්නේ එංගලන්තයෙන් බිහි වුනු සුපිරි තරුව Jonny Wilkinson. ඔහු තරග 19ක දී ලකුණු 277ක් ලබා ගනිද්දී මෙහි දෙවැනි ස්ථානය ස්කොට්ලන්තයේ Gavin Hastings (ලකුණු 227) හට හිමි වෙලා තියෙනවා.

2003 රග්බි ලෝක කුසලානය එංගලන්තයට දිනා දීම වෙනුවෙන් විශාලතම කාර්ය භාර්යය ඉටු කළ Jonny Wilkinson එවර තරගාවලියේ දී ලකුණු 114ක් ලබා ගන්න සමත් වෙනවා. මේ තමයි ක්‍රීඩකයකු විසින් එක් ලෝක කුසලාන තරගාවලියක දෙවැනියට ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වෙලා තියෙන්නෙත්. 

මෙහි ප්‍රථම ස්ථානය නවසීලන්තයේ Grant Fox හිමි කර ගන්නේ (1987 ලෝක කුසලානයේ දී) ලකුණු 126ක් සමඟින්. 

එක් ලෝක කුසලාන තරගයක වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේ වාර්තාව නවසීලන්තයේ Simon Culhane හට හිමි වෙන්නේ 1995 දී ජපානයට එරෙහිව ලකුණු 45ක් ලබා ගැනීම නිසා. 

මේ අතර පාපන්දු ලෝකයේ අතිශය ප්‍රසිද්ධියක් උසුලපු ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙන නවසීලන්තයේ Jonah Lomu සහ දකුණු අප්‍රිකාවේ Bryan Habana රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් (15 බැගින්) ලබා ගැනීමේ වාර්තාව උසුලනවා. 

ඒ වගේම එක් තරගාවලියක වැඩිම උත්සාහක දිනුම් වාර්තා කිරීමේ වාර්තාවත් ඉහත Lomu සහ Habanaට අමතරව නවසීලන්තයේ Julian Savea හට හිමි වෙන්නේ උත්සාහක දිනුම් 8 බැගින් වාර්තා කිරීමට සමත් වීම නිසා. 

මේ අතරේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් ප්‍රවර්තනය කර ගැනීමේ වාර්තාව නම් ඉතා ඉහළ පරතරයකින් යුතුව හිමි කර ගන්න නවසීලන්තයේ Dan Carter විසින් සමත් වෙන්නේ ප්‍රවර්තනයන් 58ක් සාර්ථක කර ගනිමින්.

මේ අතරේ එංගලන්තයේ Jonny Wilkinson විසින් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දඬුවම් පහර (58) සහ Drop Goal (14) ලබා ගැනීමේ වාර්තාවලට හිමිකම් කියනවා. 

මේ අතරේ වැඩිම ලෝක කුසලාන තරග ප්‍රමාණයකට සහභාගී වීමේ ගෞරවය දිනා ගන්න එංගලන්තයේ Jason Leonard සහ නවසීලන්තයේ Richie McCaw (තරග 22 බැගින්) සමත් වෙලා තිබෙනවා. 

ඉදිරියෙන් ම ඉන්න කණ්ඩායම්වලට අවාසියි! 

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් කාණ්ඩ වෙන් කිරීම සිදු වෙන්නේ 2020 වසරේ දී. මීට වසර තුනකට පෙර මේ විදිහට කාණ්ඩ බෙදා වෙන් කිරීම පිරිසකගේ විවේචනයටත් භාජනය වුනා. ඔවුන්ගේ ප්‍රධානතම තර්කය බවට පත් වුනේ 2020 ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගෙන සිදු කරන මේ කණ්ඩායම් බෙදීම අනාගතයේ ශ්‍රේණිගත කිරීම් අනුව යම් කණ්ඩායම් වලට අසාධාරණයක් සිදු කරා වී කියලා. 

මේ තර්කය සර්ව සාධාරණ එකක් බව අද වෙද්දී තහවුරු වෙලා තියෙනවා. 

මේ වෙද්දී ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු සහ දෙවැනි ස්ථානවල රැඳෙන අයර්ලන්තය සහ දකුණු අප්‍රිකාව B කාණ්ඩය නියෝජනය කරද්දී, ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයේ රැඳෙන ස්කොට්ලන්තයත් B කාණ්ඩයට ම වැටිලා තියෙනවා.  

මේ නිසා මූලික වටයෙන් ඉදිරියට යන්න විශාල තරගයක් නිර්මාණය වෙනවා වගේම සාමාන්‍යයෙන් මේ වගේ තරගාවලියක කණ්ඩායම් බෙදීම් රටාව අනුව ගත්තත් මේක එතරම් ම සාධාරණ නැති* බව වැටහෙනවා. 

*. මේ විදිහට කණ්ඩායම් බෙදීම මගින් වර්තමානයේ හොඳම කණ්ඩායම් එක් කාණ්ඩයකට හෝ දෙකකට බෙදී යාම නිසා ඒ ඒ කාණ්ඩ තුළ හොඳ තරගයක් නිර්මාණය වුනත් සමස්ත තරගාවලියේ කොටසක් ඇල්මැරුණු තත්වයකට පත් වෙන්න පුළුවන් 

මේ අතර A කාණ්ඩයට දැනට ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි සහ සිව්වැනි ස්ථානවල රැඳෙන ප්‍රංශය සහ නවසීලන්තය ඇතුළත් වෙලා තිබෙනවා.  

අනුමාන වශයෙන් A කාණ්ඩයෙන් බහුතර බලාපොරොත්තුව අනුව නවසීලන්තය සහ ප්‍රංශයත්, B කාණ්ඩයෙන් අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතරින් රටවල් දෙකකුත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුනත්, එතැනින් අනිවාර්යයෙන් ම ඉදිරියට යන්න ලැබෙන්නේ රටවල් ද්විත්වයකට පමණයි. 

(තරග කාලසටහන අනුව අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග වදින්න නියමිත A සහ B කාණ්ඩ වල පළමු සහ දෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් හතර විසින්.) 

මේ නිසා දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 5 රැඳෙන කණ්ඩායම් 5න් උපරිම වශයෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන්න අවස්ථාව හිමි වෙන්නේ රටවල් දෙකකට පමණයි. 

සමහර විට මේ නිසා තරගාවලියේ අවසන් භාගයේ තරගකාරීත්වය අඩු වෙන්න වගේම හොඳම කණ්ඩායම් සියල්ල එක පොකුරකට වැටීම නිසා තරගාවලිය මුල සිටම යම් තරග වල තරමක් උදාසීන බවක් ඇති වෙන්න ඉඩ ඇති බවත් අනුමාන කළ හැකි. 

නමුත් මේ කිසිම දෙයක් තරගාවලියේ තරග පැවැත්වෙන්න පෙර තහවුරු කරන්න පුළුවන් දේවල් නම් නෙවෙයි. 

ඇස ගසා ගෙන සිටිය යුතු තරග 

නවසීලන්තය සහ ප්‍රංශය –  

A කාණ්ඩයෙන් තරග වදින මෙම කණ්ඩායම් ද්විත්වය දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි සහ තෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා. 

තරගාවලියේ ආරම්භක තරගය වන මෙය ශ්‍රී ලංකා වෙලාවෙන් සැප්තැම්බර් 09 වැනිදා අලුයම 12.45ට පැවැත්වීමට නියමිතයි. 

ජපානය සහ එංගලන්තය–  

D කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වෙන මෙම තරගය වඩාත් විශේෂ එකක් වන්නේ ජපානයේ සහභාගීත්වය නිසායි. 2015 ලෝක කුසලානයේ දී කිසිවකු හෝ නොසිතූ නොපැතූ ලෙසින් දකුණු අප්‍රිකාව පරාජය කිරීමත් සමඟ රග්බි ලොව සිය නැගී සිටීම පිළිබඳ ඉඟි කළ ජපානය 2019 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය වෙත පිවිසීමට සමත් වුනා.

මෙවරත් ඔවුන් එවන් දස්කමක් දක්වාවි ද යන්න පිළිබඳ ක්‍රීඩාලෝලීන්ගේ විශේෂ අවධානයක් යොමු වනු ඇති. 

තරගය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය–  

දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් හි පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටින මෙම කණ්ඩායම් ද්විත්වය B කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියේ මූලික වටයේ දී ම මුණ ගැසීමට නියමිතයි. 

ඒ වගේම වත්මන් ලෝක ශූරයින් ලෙස මෙවර තරගාවලියට පිවිසෙන දකුණු අප්‍රිකාවට තමන්ගේ ගෞරවය රැක ගැනීමට ජයග්‍රහණය කළ යුතු ම තරගයක් ලෙස මෙම තරගය හඳුන්වා දිය හැකි. 

තරගය සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

මීට අමතරව පසුගිය දිනක එංගලන්තය පරාජය කරමින් නොසිතු ජයක් ලද ෆීජී කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව ගැටීමට නියමිත තරගය (සැප්තැම්බර් 17), ආජන්ටිනාව සහ ජපානය (ඔක්තෝබර් 08) අතර තරගවලට ද විශේෂ අවධානයක් යොමු වෙතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාව සහභාගී නොවුනත් රග්බි ලෝක කුසලානය කියන්නෙත් බහුතර ශ්‍රී ලාංකික පිරිසකගේ අවධානයට යොමු වෙන ක්‍රීඩා සැණකෙළියක්. ඒ නිසාම මෙවර ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කරන්නත් ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<