අකලට මියැදි ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව් සිහිනය! – දෙවැනි කොටස

10843
Anura Ranasinghe

1982 පෙබරවාරි 17 වැනිදා කීත් ෆ්ලෙචර්ගේ නායකත්වයෙන් යුත් සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නට සියල්ල සූදානම් වී තිබුණා. 

>> අකලට මියැදි ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව් සිහිනය! – පළමු කොටස 

එදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයට පැමිණි සියලු දෙනා මවිතයට පත් කරමින් අනුර රණසිංහගේ නම අවසන් ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතර තිබුණේ නැහැ. 

ටෙස්ට් තරගයට දින කිහිපයකට කලින් පැවති එක්දින තරගයේ දී එංගලන්ත පන්දු බලඇණියට පිටිය සිසාරා පහර දෙමින් වේගවත් අර්ධ ශතකයක් ලබා ගත් අනුරට කණ්ඩායමේ තැනක් අහිමි වීම ක්‍රීඩාලෝලීන්ට මහත් ප්‍රහේලිකාවක් වුනා. 

“මම ලංකාවට ගහන හොඳම එකළොස් දෙනාගෙන් හැලුණේ කොහොමද?” අනුර සිටියේ සෑහෙන සිත් වේදනාවකින්. 

මේ වේදනාකාරී මතකය අනුරගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා කිව්වොත් වැරැද්දක් නැහැ. 

1982 ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ ෆයිසලාබාද් නුවර පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී අනුරට ටෙස්ට් වරම් හිමිවෙනවා. නමුත් බලාපොරොත්තු වූ තරම් දස්කම් දැක්වීමට ඔහු අපොහොසත් වීම නිසා ලාහෝර් නුවර පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී නැවත වතාවක් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙනවා. 

නැවත වතාවක් අනුරට ටෙස්ට් කණ්ඩායමේ අවස්ථාවක් ලැබෙන්නේ වසර අග ඉන්දියානු කණ්ඩායමට එරෙහිව මදුරාසියේ පැවති ටෙස්ට් තරගයට. මේ තරගයේ පළමු ඉනිමේ අනුර ලකුණු නොලබා දැවී යනවා. එදා දිනය නිමාවේ දී අනුරට මුණගැහෙනවා ඒ තරගය විනිශ්චය කළ විනිසුරුවරයෙක්. 

“ඇයි ඔයා ගියේ… මම ඒක අවුට් දෙන්න නෙවෙයි හිටියේ,” ඔහු කියනවා. 

මේ තරගයේ දෙවැනි ඉනිමේ අනුර ඉන්දියානු පන්දු යවන්නන්ට නොසෑහෙන්න බැට දෙමින් ලකුණු 77ක් රැස් කරනවා. ශ්‍රී ලංකාව මේ තරගය දිනන්න බොහොම කිට්ටුවට එනවා. ඉන්දීය නායක සුනිල් ගවස්කාර් තරගයෙන් පස්සේ ජනමාධ්‍ය වෙත කියලා තිබුණේ තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව පැත්තට හැරෙව්වේ අනුරගේ ඉනිම කියලා.  

අනුරගේ ක්‍රිකට් ජීවිතයේ ඉහළම ටෙස්ට් ඉනිම ඒක.  

අනුර රණසිංහ කියන නම ආපහු ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට අහන්න ලැබෙන්නේ ඉන්දියානු සංචාරයෙන් මාසයක් විතර ගිය තැන දකුණු අප්‍රිකාව දිහාවෙන්. 1982 ඔක්තෝබර් මාසයේ දකුණු අප්‍රිකාවේ තහනම් සංචාරයක නිරත වෙච්ච ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් සාමාජිකයෙක් අනුර. 

දිගින් දිගටම තමන්ට ලැබුණ කුඩම්මාගේ සැලකුම් සහ ආර්ථික ප්‍රශ්න මේ ගමන යෑමට අනුරට ලබා දුන්නේ විශාල උත්තේජනයක් බවයි කියවෙන්නේ. 

අනුර රණසිංහ තහනම් දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර පිතිහරඹයේ යෙදෙමින්

මෙහෙම හොර රහසේ දකුණු අප්‍රිකාවට ගිය ගමන ගැන අපේ ක්‍රිකට් බලධාරීන් බැලුවේ යහපත් ඇසකින් නොවෙයි. අනුර ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින්ට වසර 25ක ක්‍රිකට් තහනමක් පැනවුණා. 

දකුණු අප්‍රිකානු සංචාරය හිතූ තරම් ලෙහෙසි එකක් වුනේ නැහැ. ශ්‍රී ලංකාව සෑම තරගයකින්ම පාහේ පරාජයට පත්වුනා. හැබැයි අනුර ලකුණු අතර හිටියා. ඒ පෝර්ට් එළිසබෙත්’හී තරගයක දී ලබා ගත් වේගවත් ශතකයක් ද ඇතුළුව.  

පන්දුවෙනුත් අනෙක් ක්‍රීඩකයින්ට වඩා දස්කම් අතර ඉන්න ඔහු සමත් වුනා. අනුර දවා ගත් කඩුලු අතර බැරී රිචඩ්ස්, ග්‍රැහැම් පොලොක්, පීටර් කර්ස්ටන් සහ ක්ලයිව් රයිස් වැනි දැවැන්ත නම් තිබුණා.

නැවත ශ්‍රී ලංකාවට පැමිණි අනුර ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින්ට ක්‍රිකට් පිටිය තහනම් කලාපයක් වුනා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතයම කර ගත් අනුරට මේ තහනම විශාල පීඩාවක් වුනා. මේ කාලයේ අගනුවර පැවැත්වුණ සෑම ක්‍රිකට් තරගයක දී ම නරඹන්නන් අතරේ දැක ගත හැකි වුනේ මදුවිතකින් සප්පායම් වූ කලකිරීම ඉහවහා ගිය අනුර රණසිංහ කෙනෙක්.

අනුර රණසිංහ දකුණු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන බැරී රිචඩ්ස් සමඟ

එක්තරා දවසක ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එනවා තරගයක් නරඹන්න. එදා තරගයට වර්ෂාව හරස්වෙච්ච නිසා ක්‍රීඩකයෝ ක්‍රීඩාගාරයට වෙලා කැරම් ක්‍රීඩාවේ නිරත වෙමින් හිටියේ. අනුර එනවා දැකපු ගමන් ක්‍රීඩා කරමින් හිටපු ක්‍රීඩකයෙක් නැගිටලා ඔහුට අවස්ථාව දෙනවා.  

“ඉස්සරහට මේක තමයි මගේ සෙල්ලම,” අනුර කැරම් බෝඩ් එක ඉස්සරහ වාඩි වුනේ දීර්ඝ සුසුමක් හෙළන ගමන්. 

1983 අවුරුද්දේ අග මාධ්‍යවේදියෙක් අහනවා අනුර ඔබට බලාපොරොත්තුවක් තියනවා ද නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න කියලා. අනුරගේ පිළිතුර වෙන්නේ මෙහෙම එකක්. 

“ඔව්, අවුරුදු විසිපහක් මම ජීවත් වුනොත්…”

1989 වසරේ, එනම් තහනම් දකුණු අප්‍රිකානු සංචාරයෙන් වසර හතකට පසුව අනුර ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින්ගේ තහනම ඉවත් කෙරුණා. 

1990 ජනවාරියේ BRC කණ්ඩායම සහ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය අතර තරගයක් BRC පිටියේ දී පැවැත්වුණා. මේ තරගයේ BRC කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ අලංකාර හයේ පහරකින්. මේ ආරම්භක පිතිකරුවාගේ නම වුනේ අනුර රණසිංහ. සමහර විට අවුරුදු හතක් තිස්සේ හිර කරගෙන හිටපු පීඩනය ඔහු පිට කළේ එහෙම වෙන්න ඇති. 

සිය දෙවැනි ගමන එලෙස හයේ පහරකින් ආරම්භ කළ අනුර, ඊට පසු ගාලු ක්‍රීඩා සමාජය හා පැවති තරගයක දී උපරිම දස්කම් අතර සිටි ජයනන්ද වර්ණවීර නැත්තටම නැති කළා. අනුර මේ තරගයේ දී පන්දු 37කින් වේගවත් ලකුණු 61ක් රැස් කළා. ඉන් ලකුණු 44ක් පැමිණියේ හතරේ සහ හයේ පහරවලින්. එලෙස අනුරගෙන් පහර කෑ වර්ණවීර මේ තරගය පුරාවටම කඩුලු 13ක් දවා ගත් බවත් කියන්න අවශ්‍යයි. 

මේ තරග සමයෙන් පස්සේ දේශීය තරග පිටියේ අනුර දැකගන්න ලැබුණේ නැහැ. ක්‍රිකට් පිටියේ විතරක් නෙවෙයි කාලයක් අනුර රණසිංහ කියන මනුස්සයා ගැන වචනයක්වත් අහන්න ලැබුණේ නෑ කියලා ඇතමුන් කියනවා. 

මේ කාලය අතරතුර ඔහු පැල්වත්ත සීනි සමාගමේ වැඩ කළා. ඔහු මොනරාගල ගත කළ ජීවිතය හරිම දුෂ්කර එකක්. කොළඹ ඉඳලා පැය ගානක් බස් රථයක එල්ලිලා මොනරාගල ගියපු ඔහුට ආපහු කොළඹ එන්න වුනෙත් එහෙමයි. 

මේ අසීරු කාලය ඇතුළත අනුරට උදව්පදව් කළ සීමිත පුද්ගලයින් අතරින් ඉදිරියෙන් සිටි කෙනෙක් ලෙසට ඔහු වරක් රොෂාන් මහානාමගේ නම සඳහන් කර සිටියා. 

රොෂාන් සහ අනුර අතර මිත්‍රත්වය සෑහෙන දුර අතීතයකට ඇදී යනවා. දෙදෙනාම අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්ද විදුහලෙන්. 1983 වසරේ රොෂාන් මහානාම කොළඹ රාජකීය විදුහලට එරෙහිව අගනා ශතකයක් රැස් කරගන්නවා 

ඔහු ශතකය රැස් කරන මොහොතේ නරඹන්නන් අතර සිටි පුද්ගලයෙක් දිවවිත් රොෂාන්ගේ සාක්කුවට රුපියල් 500ක් දමා නැවත දිවයනවා. රාජකීය නරඹන්නන් ‘බ්ලඩ් මනී’ කියමින් කෑ ගසද්දී නරඹන්නන් අතර සිට දිව ගිය පුද්ගලයා වුනේ අනුර රණසිංහ. ඒ වෙද්දී අනුර තහනම් දකුණු අප්‍රිකානු ගමන වෙනුවෙන් වන්දි ගෙවමින් සිටි කාලයක්. 

මොනරාගල රාජකාරියේ යෙදෙන සමයේ දවසක් අනුර රොෂාන් මුණගැහෙන්න යනවා. ඒ පුළුවන් නම් රොෂාන්ගෙන් පරණ බැට් එකක් ඉල්ලගන්න. 

“අනුර අයියලා ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අපි වෙනුවෙන් කරපු දේවල් වලට මට පරණ බැට් එකක් දෙන්න බෑ. මේ බැට් තුනෙන් හොඳ එකක් බලලා තෝරගන්න,” කියලා රොෂාන් අලුත්ම කුකුබුරා වර්ගයේ පිති තුනක් අනුර ඉස්සරහින් තියනවා.  

“තාත්තාට ඒ කාලේ අලුත් බැට් එකක් ගන්න තරම් වත්කමක් තිබුණේ නැහැ මචං,” මේ ලිපිය සකස් කරගෙන යද්දී මට මුණගැහුණ අනුර රණසිංහගේ එකම පුත්‍රයා ජනත් තරුන් රණසිංහ ඒ කාලේ ගැන කිව්වේ එහෙම. 

දිනය 1998 වසරේ නොවැම්බර් 09 වැනිදා. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොකා-කෝලා ශූරයින්ගේ කුසලානයේ තරගයක් සාජා නුවර පැවැත්වෙමින් තිබුණා.  

මේ තරගය අතරවාරයේ රූපවාහිනී තිරයේ දිස්වූ හදිස්සි පුවතක් නිසා මුළු මහත් ප්‍රේක්ෂකාගාරයම ගල්ගැසී ගියා. 

අනුර රණසිංහ නිදි ඇඳේදිම මිය ගිහින්! 

මිය යද්දී අනුරගේ වයස අවුරුදු 42 පිරුණා විතරයි. 

සති අන්තයේ අනුර ගාලු යනවා. ඒ වෙද්දී අනුර බ්ලූම්ෆීල්ඩ් තෙවැනි පෙළ කණ්ඩායමේ පුහුණුකරුවෙක් විදියට කටයුතු කළ නිසා තමයි ඔහු ගාලු ගියේ. 

මේ තරගය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පරාජයට පත්වුනා. සාමාන්‍යයෙන් අනුර රණසිංහ කියන්නේ පරාජය වෙන්න සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් නෙවෙයි. පරාජයේ වේදනාව එක්ක මාකොල තියන තමන්ගේ වැඩිමහල් සහෝදරියගේ ගෙදර ගියපු අනුර ඇඟට මහන්සියක් දැනෙන බව පවසමින් දවල් ආහාරය අරන් නින්දට යනවා.

අනුර රණසිංහගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන්නට වැල නොකැඩී පැමිණි ජනතාව

හවස අනුරගේ අක්කා රෝහිණි තේ එකක් හදාගෙන ගිහින් තමන්ගේ සහෝදරයා අවදි කරන්න හැදුවත් ඒක සාර්ථක වුනේ නැහැ. මොහොතක ඇවෑමෙන් දෙවැනි වතාවටත් ඇය තමන්ගේ සහෝදරයා අවදි කරන්න උත්සහ කරනවා. ඒ මොහොතේ තමයි ඇය තේරුම් ගන්නේ තමා මේ අවදි කිරීමට උත්සහ කරන්නේ තමන්ගේ සහෝදරයාගේ ප්‍රාණය නිරුද්ධ ශරීරය බව. 

අනුර රණසිංහ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ණවත් කළ විශිෂ්ටයා මිය ගිහින් තිබුණේ දරුණු හෘදයාබාධයකින්. 

අනුර රණසිංහගේ අවසන් කටයුතු කරන්න යද්දී කිරුලපන ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් එනවා. ඒ තමයි අනුරගේ අවසන් කටයුතු කෙරෙන්න ඕන කිරුලපන දී බව. කුඩා කාලේ ඉඳලම කිරුලපන මහජන ක්‍රීඩාංගණයේ දුව පැනපු, තමන් එක්ක ජීවත් වෙච්ව, තමන්ගේ අභිමානවත් ක්‍රිකට් පුත්‍රයා තමන්ගේ ගමේ දී ම මිහිදන් වෙන්න ඕන කියලා එදා කිරුලපන ප්‍රදේශවාසීන් හිතන්න ඇති. 

එදා අනුරට අවසන් ගෞරව දක්වන්න අති විශාල ජනකායක් කිරුලපනට එකතු වෙච්ච බව කියවෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ 2000 වසරේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ත්‍යාගයක් පිරිනමනවා. 

“තාත්තා වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් මුදල් ආධාරයක් ලැබුණා. කාටවත් බරක් නොවී මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගන්න ලැබුණේ තාත්තා වෙනුවෙන් ලැබුණ මූල්‍යමය උපකාරය නිසා.” 

තාත්තා නැති වෙද්දී ජනත්ගේ වයස අවුරුදු 12. 

අනුර රණසිංහ සිය එකම පුත්‍රයා ජනත් රණසිංහ සමඟ

“තාත්තා හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි. තාත්තා තමයි මගේ මාර්ගෝපදේශකයා වුනේ. මමත් නාලන්දෙට සෙල්ලම් කරලා තියනවා. හුඟක් දෙනා කියනවා මගේ ක්‍රීඩා ශෛලිය තාත්තාට හුඟාක් සමානයි කියලා. තාත්තා හිටියා නම් මගේ ක්‍රිකට් ජීවිතෙත් සෑහෙන වෙනස් වෙන්න තිබුණා,” ජනත් වැඩිදුරටත් කියනවා. 

අනුර රණසිංහ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ නැත්තේ ඇයි ද කියන එක අදටත් නොවිසඳුණු අභිරහසක්. හැබැයි ඒ තීරණය අනුර රණසිංහ කියන මනුස්සයා සම්පූර්ණයෙන්ම වෙනස් කළා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බබළවන්න හිටපු මනුස්සයෙක් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අහිමි කළා කියන එක පැහැදිලිවම කියන්න පුළුවන් කාරණාවක්. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<