ගුවන් හමුදාව පෙරළිකාර ජයක් සමඟ CH බිම හෙලයි

83

මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දී ලකුණු 39 – 22 ක් ලෙස CH & FC කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදාව අද (17) දින පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සමත් විය. එහිදී James Tuteovuya උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ද වාර්තා කර ගත්තේ තරගය සම්පුර්ණයෙන් වෙනස් කරමිනි. 

යුද – පොලිස් ගැටුමට ජයග්‍රාහකයෙක් නැහැ

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරගයක්…

CH පා පහරින් තරගය ආරම්භ වූ නමුත් තරගයේ පළමු වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය යි. James Tuteovuya තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර චරිත් සෙනෙවිරත්න එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (ගුවන් 07 – 00 CH)

ගුවන් හමුදාව දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුනත් CH ක්‍රීඩකයෝ ඔවුන්ගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරන්නට සමත් වූහ. කෙසේ වෙතත් CH ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් අර්ශාඩ් ජමල්ඩීන් සිය කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරකින් ලකුණු රැස් කිරීම ආරම්භ කළේය. (ගුවන් 07 – 03 CH)  

සුළගේ සහයත් සමඟින් චරිත් සෙනෙවිරත්න ගුවන් හමුදාව වෙනුවෙන් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගත් අතර ඊට සුළු මොහොතකට පසුව CH වෙනුවෙන් වොරන් වීරකෝන් ගුවන් හමුදා ආරක්ෂක වළලු බිඳ දමමින් ධවල රේඛාව ඉක්මවා ගොස් CH කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. (ගුවන් 13 – 08 CH)

සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ ප්‍රබල උත්සාහයකට සහය දුන් James Tuteovuya නැවත වතාවක් ක්‍රියාත්මක වූ අතර පන්දුව ක්ෂණිකව රැගෙන ප්‍රතිවාදීන් මැඩලමින් ඔහු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගොස් තම කණ්ඩායමට ලකුණු රැස්කර දුන්නේය. ගයන්ත ඉද්දමල්ගොඩ ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් අමතර ලකුණු එකතු කළේය. (ගුවන් 20  – 08 CH)  

CH කණ්ඩායමේ සත්‍ය රණතුංග හට කහ කාඩ්පතක් හිමි වීම හේතුවෙන් පිටියෙන් ඉවත්  වීමට සිදුවූ අතර එම වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් James Tuteovuya පළමු අර්ධය නිමා වන්නට ප්‍රථමයෙන් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පුර්ණ කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ හට හැකි විය. (ගුවන් 27  – 08 CH)  

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (3T 3C 2P) 27 – 08 (1T 1P) CH & FC කණ්ඩායම 

නැවත වතාවක් CH කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූයේ පුලස්ති දිසානායක හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කිරීම හේතුවෙනි. ගයන්ත ඉද්දමල්ගොඩ හට දඬුවම් පහරක් මඟ හැරුනු නමුත් ඔහු උත්සාහක දිනුමක් තමන්ගේ නමට ඉදිරියෙන් ලියා ගන්නට සමත් විය. නුවන් පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් අමතර ලකුණු ද එකතු කළේ CH කණ්ඩායම දැඩි අර්බුදයකට ඇද දමමිනි. (ගුවන් 34  – 08 CH)     

CH කණ්ඩායම පෙර තරග වලදී මෙන්ම මෙම තරගයේ දීද දෙවන අර්ධයේ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට අවතීරණ වූ අතර රෝහිත රාජපක්ෂ පිටියේ වම් කෙළවරින් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. අර්ශාඩ් ජමල්ඩීන් අපහසු ස්ථානයක සිට අලංකාර ලෙස ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් අමතර ලකුණු එකතු කළේය. (ගුවන් 34 –  15 CH)  

විද්‍යා විදුහලට විදේශ බලවේගයක්!

එළඹෙන පාසල් තරග වාරයේ දී ගල්කිස්ස විද්‍යා විදුහලට නව ශක්තියක් වෙමින් කෙටි කාලීන…

ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධ වලට ලක්වීම නිසා තරගය කිහිපවරක් නැවැත්වීමට විනිසුරුවන්ට සිදු විය. කෙසේවෙතත් නිස්රාන් නිලාර් CH වෙනුවෙන් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූ අතර නැවත වතාවක් ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් අර්ශාඩ් ජමල්ඩීන් අමතර ලකුණු එකතු කළේය. (ගුවන් 34 –  22 CH)  

ඊට මොහොතකට පසුව ගුවන් හමුදාව වෙනුවෙන් රාමසාන් අමිත් තරගයේ අවසන් උත්සාහක දිනුම තමන් සතුකර ගත්තේ කෞෂාල් මනුප්‍රිය ගේ පා පහරකින් පන්දුව රැකගනිමිනි. (ගුවන් 39 –  22 CH)  

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 39 (5T 4C 2P) – 22 (3T 2C 1P) CH & FC කණ්ඩායම 

ThePapare.com තරගයේ වීරයා – සාරක වේරැල්ල (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ: 

  • ගුවන් හමුදාව – James Tuteovuya (3T), ගයන්ත ඉද්දමල්ගොඩ (1T, 2C), රාමසාන් අමිත් (1T), චරිත් සෙනෙවිරත්න (2P, 1C), නුවන් පෙරේරා (1C) 
  • CH & FC – වොරන් වීරකෝන් (1T), රෝහිත රාජපක්ෂ (1T), නිස්රාන් නිලාර් (1T), අර්ශාඩ් ජමල්ඩීන් (2C, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<